Date: 11/12/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම අද භාවනාවට කළේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාවේ අපි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පෙට එනවා. එතකොට ඒ සම්මා සංකප්පයේ තියෙනවා, නෙක්ඛම්ම, අව්‍යාපාදය, අවිහිංසා. නෙක්ඛම්මය කීවා ම, ඒ කාමයන් ඇති වීම අත හැරීම කියන පැත්තට එනවා.

එතකොට එතැනින් අපි එනවා, භාවිත කායා දක්වා ම. එතකොට ඒ භාවිත කායා තත්වයට ආවා නම්, තමන්ට පේනවා ඒකෙ අවසානයට තියෙන්නේ මොකක් ද? සම්මා කම්මන්තයයි, සම්මා ආජීවයයි නේ. සම්මා කම්මන්තයේ තියෙනවා අපි පාණාතිපාත, අදත්තාදාන, කාමයේ වරදවා හැසිරීම කියන ඒවා කරන්නේ නැහැ කියලා.

එතකොට එහෙම නම් අපි එතන සම්බන්ධ වෙනවා ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ කාමයේ වරදවා හැසිරීම, කාම සඤ්ඤාව, එහි ඇලීම අභිනිවේසය. එහෙම නම් ඉතින් ඕක සම්බන්ධ කරගන්න පුළුවන් අපි ඊයේ පෙරේදා බලපු භාවනාවලට. ඒ භාවනාවල අපි පෙන්නුවා නේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ, අර පෙර මෝහය, ද්වේෂ සහිතව ජීවත් වීම පාණාතිපාතය. එතන අපි පෙන්නුවා භය අගති, සෝක, කාම ආශ්‍රව. එහෙම නම් ඉතින් පිටි පස්සේ තියෙන්නේ අවිද්‍යාව පෙර මෝහය හැටියට. එහෙම නම් අපි යනවා මේ කාම ආශ්‍රවයෙන් සුඛයි කියන එකේ පසු සඤ්ඤාව. සුඛයි කියලයි අපි හොයාගෙන යන්නේ.

එතකොට ඊට පස්සේ ආපහු අපි පෙන්නුවා, වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. ආපහු අපි දිට්ඨි ආශ්‍රවයට ගියා නම්, එතැන්දිත් අපිට එනවා සුඛයි කියන එකටයි කියලා. එහෙම නම් අපිට පේනවා, ඒ දෙවෙනි පාරටත් ගියා නම් අපි ඉතින් නිත්‍යයි කියලා සනාථ කිරීමක් කියන එක තියෙනවා. අර සුඛය දෙපාරක් ආවා නේ. සුභයට නිත්‍ය එකතු වෙලා සුඛය. ඒක අපි සාකච්ඡා කළා.

දැන් එහෙම නම් මේ පුද්ගලයාට පේනවා, මෙතන තියෙන්නේ මොකක් ද? එක පැත්තකින් පේනවා මේක තණ්හා වුණා නම් දුක්ඛය තමයි ඇති වෙන්නේ. එහෙනම් අන්න දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය කියන එක පේනවා. අනිත් පැත්තෙන් පේනවා, මේ ආශ්‍රවයෝ ය, මේ ආශ්‍රව සමුදයො ය. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා. දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා. මේ ආශ්‍රවයන්ගේ සමුදයො ය කියලා. එහෙම නම් ඉතින් ඒ පුද්ගලයා මේ මොකක්වත් අල්ලා ගන්නේ නැතුව, ඒකට ගැටෙන්නේ නැතුව එයා ඉන්නවා.

ඉතින් ඒක තමයි මෙතන තමන්ගේ, මතක ද, ඥාන පථයේත් පෙන්නුවේ? එයා දැන් ගන්නවා මෙතන මේ දුකයි, ප්‍රඥාවෙන් දකිනවා, මේ දුක්ඛයාගේ සමුදයයි, මේ දුක්ඛයාගේ නිරෝධයයි. මේ ආශ්‍රවයෝ ය, මේ ආශ්‍රවයන්ගේ සමුදයයි. මේ ආශ්‍රවයන්ගේ නිරෝධයයි. ඊට පස්සේ හෙලවෙන්නේ නැතිව ඉන්නවා. “කාමා හි ලොකෙ න හි සුප්පහායා” කියලා කීවේ, ඒ අර්ථයෙන්.

ඒක තමයි මං කරපු භාවනාව.