ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඕගොල්ලන්ට මතකයි, ඊයේ අපි බැලුවේ, “සුඛො විවෙකො තුට්‌ඨස්‌ස, සුත ධම්මස්ස පස්සතො. අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ, පාණ භූතෙසු සංයමො. සුඛා විරාගතා ලොකෙ, කාමානං සමතික්කමො. අස්මිමානස්ස යො විනයො, එතං වෙ පරමං සුඛං.” කියන ගාථාව.
ඉතින් එකේ පෙන්නන්නෙ “මේ සතර මාර්ග ඥානයෙන් සතුටු වූ ප්‍රකාශිත නිර්වාණ ධර්ම ඇති, විවේකය දැක්ක යුතු, දක්නා රහතන් වහන්සේට, නිර්වාණ සංඛ්‍යාත උපධි විවේකය සුව වෙනවා. නොකිපෙන බව සුව වෙනවා. ලොව ප්‍රාණීන් කෙරෙහි සංයමය, සුව වෙනවා. ලොව කාමයන්ගේ යම් ඉක්මවීමක් ඇත්ද, ඒ විරාග බව සුව වෙනවා. අස්මිමානයාගේ යම් දුරලීමක් ඇත්ද, ඒ රහත් බව ඒකාන්තයෙන් ම පරම සුවය වෙනවා” කියලා.
ඉතින් අපි, ඊයේ භාවනාවෙදි බැලුවා අර පළවෙනි පද දෙක. ඉතින් අද බැලුවේ ඉතුරු පද දෙක. “සුඛා විරාගතා ලොකෙ, කාමානං සමතික්කමො. අස්මිමානස්ස යො විනයො, එතං වෙ පරමං සුඛං” කියන එක.
ඉතින් ඕකේ හැබැයි, අර මුල පද දෙක අත ඇරලා මේක කරන්න බෑ. ඒ මුල දෙක හොඳට බලන්න ඕනෙ, අර තමන්ගේ ඒ ඵල චිත්තයන් නංවලා, ඒ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, ඒවායින් සුඛය තියෙනවා ආදි වශයෙන් බලාගෙන එන්න ඕනෙ. ඉඳලා ඒ රහතන් වහන්සේ ජීවත් වන විදිහ තමන් එතන හිතන්න ඕනෙ. එතන බොහොම ශාන්තයි.
ඉතින් මතක ඇති ඕගොල්ලන්ට, මේ විඤ්ඤාණය හැදෙන ධර්ම තුනක් අපි බැලුවා නේ. සඤ්ඤාවෙන් චේතනා වෙලා, වේදනාවෙන් චේතනාවට ඇවිල්ලා, පරාමාසයෙන් චේතනාවට ඇවිල්ලා, විඤ්ඤාණයට එනවා කියන එක. එතකොට දැන් අද භාවනාවේදි, ඔය විවේකය ඔය විදිහට බලලා ඒ “සුඛා විරාගතා ලොකෙ, කාමානං සමතික්කමො,” ලොව කාමයන්ගෙන් යම් ඉක්මවීමක් ඇත්ද, එම විරාගය සුව වෙනවා. ඉතින් විඤ්ඤාණය නැවත උපදවන යම් සංකල්පයක් ඇද්ද, එහි යම් ඉක්මවීමක් වේ ද, විරාගයක් වේ ද, එය සුව වෙනවා.
අපි දන්නවා “සංකප්ප රාගො පුරිසස්ස කාමො” කියන එක. ඉතින් එතකොට, ඒ කාමයන්ගෙන් අපි සංකප්පය අපිට එනවා, ඒ සංකප්පයට රාග වෙලා තමයි අපිට කාමය කියන එක එන්නේ. ඉතින් ඒ සංකප්ප, ඒ plan, ඒ සංස්කාරයන් කියන ඒවා අපි ඉවතලන්න ඕනෙ.
ඉතින් මේක මේ වෙලාවෙදි මේ කාමරාග අනුසය නිසා වන ක්‍රියාවලිය සිහි කරන්න ඕනෙ. ඉතින් මේ වෙලාවෙ මේ තරාදියේ දකුණු පැත්ත පහත් වෙනවා නම්, ඉතින් ථීනමිද්ධ සහගත වූ සඤ්ඤාවන් මගින් දුර්වල වූ රූපයන් ම විඤ්ඤාණ ධාරාව පැවැත්වීමට යොදා ගන්නේ, විඤ්ඤාණය කා දැමීම එමගින් සිදු වෙනවා. කුමක් නිසා ද? යමක් සෑදීමට ගන්නා ලද, ලී වැනි දේ දිරලා, මළ කඩ කාලා ඇති නිසා ය. මෙම කාමයන්ගේ ඉක්මවීමක් ඇත්ද, ඒ කියන්නේ මළ කඩ කාපු යකඩ ඇණ නොගන්නේ ද, එම විරාගය සුඛයි කියන එක තියෙනවා.
එතකොට ඊට පස්සේ, ඒ පදය එනවා, හතර වෙනි පදයට, “අස්මිමානස්ස යො විනයො, එතං වෙ පරමං සුඛං” අස්මිමානයාගේ යම් දුරලීමක් ඇත්ද, එය පරම සුවය වෙනවා කියලා.
ඉතින් ඔතන පෙන්නන්නේ, මේ පරාමාසයේ ඉඳන් චේතනාවට අත්තා කියලා එන එක නොවෙන එක. ඉතින් ඕගොල්ලන්ට මතකයි, අපි මේකේ බැලුවා අර diamond දෙකක්, දෙපැත්තෙන් තියෙනවා. වේදනා, නාමරූප, පරාමාසකායගන්ථ, සෝක, වේදනා. ඊට පස්සේ, ආපහු පරාමාසකායගන්ථ, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පරිදේවය, පරාමාසය.
ඉතින් ඔය දෙක මැද්දෙන් තමයි අර “රූපවන්තං වා අත්තානං.” අර අත්තා කියලා ගන්න එක අපි ලකුණු කළේත් ඉතින් චේතනාවට එන එක, පරාමාසය ඉඳන් චේතනාවට. එතකොට අස්මිමානය කියන එක ඉවතලනවා නම්, රූප රාග, අරූප රාග කියන එක ඉවතලනවා. නිර්වාණය පසක් කෙරෙනවා.
ඉතින් ඒක තමයි, අද ඔය අමෝහ භාවනාවේ කෙළවරට තියෙනවා නේ. අමෝහ භාවනාවේ අපි ප්‍රඥා ස්කන්ධයට ආවා ම ඒකෙ අස්මිමානය නැති කරන එක.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.