ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා,.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකේ අවසානයේ දී, රූපයට උපෙක්ඛා ඇත්තේ, සුඛ දුක පහව ඇති අවස්ථාවට පැමිණියා.
ඊට පස්සේ, මට කල්පනා වුණා, අපි කුමක් ද කරලා තියෙන්නේ? කියලා. ඒ කියන්නේ මේ බාහිර වූ රූපයකට, අපේ මනසින් නාම කොටස්, සුඛ, දුක වශයෙන් එකතු කරලා, එමගින් විඤ්ඤාණය උපදවා, යමක් සුඛ, දුක, අදුක්ඛම සුඛ වශයෙන් දැනගන්නවා. එම විඤ්ඤාණය මිය යන්නේ, පරිදේව වන්නේ, එමගින් සෝකය ඇති වෙනවා. මෙසේ සංස්කාර පරිදේව වූ පසු, නැවතත් රූපයට සුඛ, දුක වශයෙන් එකතු කරනු ලබනවා.
“විවේකදස්සී ඵස්සෙසූ,” කියන එක සිහි වෙන්නේ, එම එකතු කිරීම කළ නොහැකි නිසා, ව්‍යාධි වන්නේ ය. ඇසයි, රූපයයි පෙර මෙන් එකතු කළ නොහැකි ය. ඇස ජරා වී ඇත්තේ ය. දැන් ව්‍යාධි සහිත වූ ලෙඩාට, රූපයට සුඛ යැයි එකතු කිරීම තවත් අපහසු ය. මෙසේ නිත්‍යභාවය නැති නිසා, continuous ලෙස මෙය කළ නොහැකි වීම, මරණය වූ පසු මනා කොට විද්‍යාමාන වෙනවා. එනමුදු නැවතත් රූප සොයනවා. මෙහි දී රූපය බාහිරව ඇති අතර, තමා විසින් එකතු කරන නාම කොටස ද, පෙර මෙන් නොවන බව වටහා ගන්නේ, එවැනි රූප කෙරෙහි ද, නාම කොටස කෙරෙහි ද, ආරති, විරති, පටිවිරති ඇති වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඉතින් ඕක කළහම, පෙටකොපදෙසයේ තියෙනවා, සිංහල පොතේ පිටුව 267, ඒකේ පෙන්නනවා, මේ “න තං දළ්හං බන්ධනමාහු ධීරා.” කියලා ධම්මපදයේ ගාථාවක්. ඒ කියන්නේ කොසොල් රජ්ජුරුවෝ, මිනිසුන්ව ගෙනැල්ලා, යකඩවලින් බැඳලා, කඹවලින් බැඳලා. භික්ෂූන් වහන්සේලා ඕක බුදුහාමුදුරුවන්ට සැළ කළා ම, බුදුහාමුදුරුවෝ කිව්වා යකඩින් කළා වූ ද, ලීයෙන් කළා වූ ද මේ තුන විශේෂයෙන් කළා වූ ද බැමි, තද බැඳි යැයි නුවණැත්තෝ නොකියයි. මිණිකොඬොල් ආදී ආභරණයේ ඇලීම ද, අඹු දරුවන් කෙරෙහි අපේක්ෂාවත් ද යන මේ දැඩි තද බැම්ම යැයි බුද්ධාදී නුවණැත්තෝ කියනවා කියලා.
බුදුහාමුදුරුවෝ, එතන තව ගාථාවක් එතන කියලා තියෙනවා. මේ බැම්ම අපාය ආදී පහත් බිමට අදිනවා. බුරුල් වූවත් ලේසියෙන් මිදෙන්න බැහැයි කියලා. කාමයෙහි ඇලුණු නැත්තෝ මේ බැම්ම සිඳ දමා, ඒ කම්සැප හැර නිවන මඟට යනවා කියලා. ඉතින් ඕකේ පැහැදිලි කරනවා, පෙටකොපදෙසයේ ඒ කිව්ව පිටුවේ, ඒකෙ පෙන්නනවා කවර කරුණකින් මේ බන්ධනය දැඩි වේ ද කියලා?
සතර කාරණයකින්. අධිපති බවින් මුදන්නට හැකි ය. දැන් රජ කෙනෙක් නම්, මම රජ්ජුරුවෝ හින්ද ඉතින්, පුළුවන් නේ බේරෙන්න. ධනයෙන් සල්ලි දීලා පුළුවන්. අල්ලසකින් අයදීමෙන්, lawyer කෙනෙක් එහෙම අරගෙන එහෙම පුළුවන්. එහෙම නැත්නම් ගැති බවින්. අර ආයාචනා කරලා මුදන්න පුළුවන්.
එතකොට, මේ රාගය යම් මිණිකොඬොල්හි, දරුවන් කෙරෙහි, දූ දරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් ඇත්ද, ඒක චෛතසික බන්ධනයයි. ඒක අර අධිපති බවෙන් හරි, ධනයෙන් හරි, අනෙකුගෙන් යැදීමෙන් හරි, ගැතියෙන් හරි මුදන්නට නොහැක. එහි කිසි ඇපයක් ද නැත. ඇප දීලා බේරෙන්න පුළුවන් ද එහෙමත් බෑ.
යම් මේ බන්ධනයක් රාග අනුසයෙන්, ෂඩ් බාහිර ආයතනයන්ගෙන් බැඳේ නම්, මේ බැඳුමෙන් රූප තණ්හාව රූපයන්හි බඳිනවා. ධර්මයන්හි ධර්ම තෘෂ්ණාව දක්වා ම ඒක විස්තර කරන්න කියලා කියනවා. යමෙක් මෙලොව බැඳුනේ පරලොවත් බැඳුනේ පමුණුව ලැබේ ද, හේ බැඳුනේ උපදී. බැඳුනේ මිය යයි. බැඳුනේ මේ ලොවින් පරලොවට යයි.
මේ බන්ධනය ආර්ය මාර්ගයෙන් හැර මුදන්නට නොහැක. මරණ භවය, උපප්‍රාප්ති භවය ඒ කියන්නේ ඔය state of dying and state of reappearing කියන එකයි මේ පෙන්නන්නේ. ඒ භවය භය වශයෙන් දැන ඡන්දරාගය දුරු කරයි. හේ මේ ඡන්දරාගය හැර පියා මේ ලෝකයේ ද, මෙයින් මත්තේ දිව්‍ය ලෝකය ද ඉක්මවයි කියලා ඒකේ පෙන්නනවා.
එතකොට ඕකේ පෙන්වන්නේ, අර ඒ “ඡන්ද රාග පජහති.” දුරු කරනවා කියන එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා නේ, අර “උප්පන්නං කාම විතක්කං නාධිවාසෙති පජහති.” ඊට පස්සේ නේ ආරති, විරති, පටි විරති කතාව එන්නේ. කලින් ඒක අපි පෙන්නා දීලා තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.