ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අර ගාථා දෙක සිහි කළා. “මා පියෙහි සමාගඤ්ඡි, අප්පියෙහි කුදාචනං. පියාණන් අදස්සානං දුක්ඛං, අප්පියානං ච දස්සනං.” ධම්ම පද 210 වෙනි ගාථාව. ප්‍රියයන් හා අප්‍රියයන් හා කිසි කලෙකුදු සමාගමය නොකරන්නේ ය. ප්‍රිය වූ සත්වයන්ගේ නොදැක්ම දුක ය. අප්‍රිය වූ සත්වයන්ගේ දැක්ම දුක ය. එතකොට ඒ තමන්ගේ අත්දැකීම් එක්ක සිහි කරලා බැලුවා, අප්‍රිය වූ සත්වයන්ගේ දැකීම නිසා ඇති වූ වේදනා, ප්‍රිය වූ සත්වයන් නොදැකීම, නොලැබීම නිසා ඇති වෙච්ච දුක මෙනෙහි කළා.
“තස්මා පියං න කයිරාථ, පියා පායොහි පාපකො. ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියප්පියං.” ධම්ම පද 211 වෙනි ගාථාව. එහෙයින් ප්‍රිය නොකරවු. ප්‍රියයන්ගේ වියෝගය ලාමක ය. යම් කෙනෙකුට ප්‍රිය වූ හෝ අප්‍රිය වූ වස්තුවක් නැත්ද, ඔවුන්ට අභිජ්ඣා කාය ආදී ග්‍රන්ථයෝ නැත්තා හ.
ඉතින් ඒ සතර ආහාර දුක්ඛය අනුව ප්‍රිය වීම නිසා අභිජ්ඣා කාය ග්‍රන්ථ වීම ද, අප්‍රිය දේ සමඟ ව්‍යාපාද කාය ග්‍රන්ථ වීම ද මෙනෙහි කළා. එතකොට, අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට කාම යෝග නොවිය යුතුයි. කාම යෝග නොවීමට කාම උපාදාන නොවිය යුතුයි. මේ සඳහා අසුභේ සුභන්ති විපල්ලාසය නොවිය යුතුයි. ඒ සඳහා කබලිංකාර ආහාර අසුභ වශයෙන් දත යුතුයි. ඉතින් ප්‍රතිලෝම වශයෙන් විමසීමේ දී දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ඥානය භාවිතා කළා.
අභිජ්ඣා කාය ග්‍රන්ථ නොවීමට පළවෙනි විරිය. කාම යෝග නොවීමට දිබ්බ විහාරය. කාම උපාදාන නොවීමට ප්‍රථමධ්‍යානය. විපල්ලාස නොවීමට කායානුපස්සනාව. ඒ මගින් ම දෙතිස් කුණුපය සිහි වන්නේ අසුභ වශයෙන් දකිනවා.
ඉතින් අපි ඊයේ පෙන්වා දුන්නා අර ගවර වලක, ඒකෙන් මිදිච්ච බ්‍රහ්මයා එකේ ඉඳන් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔය විදිහට භාවනාව දිගට කරගෙන ගියොත්, ඔය කායානුපස්සනාව හරියට ආවාට පස්සේ, කෙනෙකුට පේනවා, මේ රූප දුකයි කියන එක. එතකොට අන්න ඒ අවබෝධය ඇතිව තමයි ඉතින් භාවනාවේ ඉතිරි කොටස වෙන්නේ.
ඉතින් ඊළඟට පරාමාසකායගන්ථ නොවීමට දිට්ඨි යෝග නොවිය යුතුයි. දිට්ඨි යෝග නොවීමට දිට්ඨි උපාදාන නොවිය යුතුයි. දිට්ඨි උපාදාන නොවීමට අනත්තේ අත්තා යන විපල්ලාසය නොවිය යුතුයි. ඒ සඳහා චේතනා නොකළ යුතුයි. මෙසේ විමසීම සඳහා සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ඥානය භාවිතා කළා.
පරාමාසකායගන්ථ නොවීමට තුන් වෙනි විරිය. නූපන් කුසල් ඉපදවීම මගඵල චිත්තය නැංවිය යුතු ය. දිට්ඨි යෝග නොවීමට අරිය විහාරය. ඇති වන්නේ දුක බව දැන, දුක්ඛ සමුදය දැන වාසය කළ යුතු ය. දිට්ඨි උපාදාන නොවීමට තුන් වෙනි ධ්‍යානය. යම් කායික වේදනාවක් වේ ද එය ප්‍රිය වීම මගින් වන්නා වූ දුක දැන, රූප සුඛ යන වේදනා ඉක්මවා, ඒ තුන් වෙනි ධ්‍යානයේ වාසය කළ යුතුයි.
දැන් අපි ඉස්සෙල්ලා පෙන්නුවා, කබලිංකාර ආහාරය එතෙන්ට එනකොට රූප දුකයි කියලා. දැන් මෙතන රූප සුඛ කියන ඒ වේදනාව ඉක්මවනවා ඒ විදිහට ගත්තහම. එතනයි සම්බන්ධය එන්නේ.
එතකොට ඕගොල්ලන්ට පේනවා, මේ දිට්ඨි උපාදානය කියන එක චේතනා පරාමාස, අර භය අගති වේදනා කියන රේඛාවලින් පේනවා. එතකොට ඒ රේඛාව දික් කළා ම යන්නේ රූපයට නේ. එතකොට ඒක මතක තියෙන්න ඕනෑ, අනත්තේ අත්තා යන විපල්ලාසය නැති කිරීමට චිත්තානුපස්සනා.
රාග සහිත සිත රාග සහිත සිත බව දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිත බව දැනගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතයි කියලා දැනගන්නවා. ඉතින් අපි මේවා සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේක සඳහා ඔය රාගජ පරිදාහ, ද්වේෂජ පරිදාහ, මෝහජ පරිදාහ. ඒ චිත්තානුපස්සනා භාවනා කරලා තියෙනවා 15/01/2012, 22/01/2012, ඒ වගේ ම 05/09/2016, ඒ නිබ්බාන භාවනාවන් යොදා ගන්න පුළුවන්.
එතකොට ඒකෙ පෙන්නනවා, ඔය අවසාන භාවනාවෙදි එහෙම චිත්තානුපස්සනාව වඩන අයකු නාම කොටසේ සමුදය, අත්ථඞ්ගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය දැනගන්නවා. චිත්ත කීවා ම, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ. මේකේ සමුදය, අත්ථඞ්ගමය බැලුවා. කොහොම ද?
සමාධිභාවනා සූත්‍ර අර්ථයෙන් තුන් වන ධ්‍යාන සුඛ යන සඤ්ඤාවේ සමුදය, අත්ථඞ්ගමය බලලා, හය වෙනි ධ්‍යානය දක්වා විමසා බැලුවා සමුදය අත්ථඞ්ගමය. චේතනා, මෙහි දී චේතනා වීමෙන් පසුව ඇති වන අත්තා සඤ්ඤා විමසා බැලුවා. අපි යමක් අත්තා වුණාට පස්සේ ඒක අභිනන්දනා කරනවා. උදාහරණයක් වශයෙන්, fridge එක මගේ වුණාට පස්සේ, ඒක අභිනන්දනා කරනවා. ආකාසානඤ්චායතනය වූ පසු එය අභිනන්දනා කරනවා. එනම් අත්තා වූ පසු එම සඤ්ඤා අභිනන්දනා කිරීම. එතකොට විඤ්ඤාණය, මෙය සෑදී යමක් දැනගත් පසු අභිනන්දනා කරනවා.
ඉතින් ඒ චේතනා කොටසෙදි විමසුවේ, අර චේතනාවට එන පාරවල් තුනක් තියෙනවා නේ. සඤ්ඤාවෙන් චේතනාවට, වේදනාවෙන් චේතනාවට, පරාමාසයෙන් චේතනාවට අර අත්තා කියලා එන එක. විඤ්ඤාණ කොටසට තමන්ට පේනවා අර දැන් නිත්‍යයි, කියලා චේතනාව පැත්තේ ඉඳන් විඤ්ඤාණයට එන්නේ. පල්ලෙහායින් ඉදංසච්චයේ ඉඳන් පෙර නිත්‍යයි, කියලා එන්නේ. අර 6 වෙනි සතිය එහෙම ලකුණු කළේ, ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් විඤ්ඤාණයට. අන්න ඒ කොටස් සහිතව බලන්න ඕනෑ.
ඉතින් මෙහෙම බැලුවාහම අර සංස්කාර disjoint වීම සමඟ ඒක සම්බන්ධ වෙනවා. සංස්කාර පරිදේව වන්නේ නම් චේතනා කළ නොහැක. එතකොට අර මුලට වදිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.