ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
25/01/2020 නෙක්ඛම්ම භාවනාව නැවතත් කරගෙන ගියා. “සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං, පරිග්ගහෙසු මුනි නොපලිත්‌තො. අබ්‌බූළ්‌හසල්‌ලො චරමප්පමත්තෝ, නාසීසතී ලොකමිමං පරඤ්‌ච.”
එතකොට සඤ්ඤං පරිඤ්ඤා. මෙහි දී ඥාත පරිඤ්ඤාව විමසුවා. ඒ ඥාත පරිඤ්ඤා කවරේ ද යත්. මෝ කාම සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා, විහිංසා සඤ්ඤා, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සඤ්ඤා. මේවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සඤ්ඤා කියලා සඤ්ඤාව දැනගන්නවා.
එතකොට සනිදාන සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා. කාම ධාතුව නිසා කාම සඤ්ඤාව. කාම සඤ්ඤාව නිසා කාම සංකල්පනා. කාම සංකල්පනා නිසා කාමච්ඡන්දය. කාමච්ඡන්දය නිසා කාම පරිදාහය. කාම පරිදාහය නිසා කාම පර්යේෂණය. මහණෙනි, කාම පර්යේෂණය කරන්නා වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම, කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදිනවා.
එතකොට මෙතන කාම ධාතුව නිසා කාම සඤ්ඤා. දැන් කාම ධාතුව සිහි කළා. කාම පටිසංයුක්ත, තක්කො, විතක්කො, සංකප්පො, අප්පණා, ව්‍යාපනා, චෙතසො අභිනිරොපනා මිච්ඡා සංකප්පො. අන්න ඒකේ පෙන්නනවා කාම ධාතුව කවරේ ද යත්, කාම පටිසංයුක්ත වූ තක්කයක්, විතක්කයක් සංකල්පයක්, අර්පනයෙක්, බලවත් අර්පනයෙක්, සිත එහි පිහිටුවිමෙක්, මිච්ඡා සංකල්පයක් වේ ද මේක කාම ධාතුව යැයි කියලා කියනවා.
යටින් අවීචි නිරය හිමි කොට මත්තේ පරනිම්මිත වසවර්ති දෙවියන් ඇතුළු කොට මේ අතරේ බැසගෙන සිටින මෙහි ඇතුළු වූ යම් ස්කන්ධ, ධාතු, ආයතන කෙනෙක් වෙත් ද, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෙක් වේ ද, මේවා කාම ධාතුයි කියලා කියනවා.
මේ අර්ථ දැක්වීම, භාවිතා කරලා, කාම ධාතුවේ ගැබ්ව ඇති කරුණු හොඳින් මෙනෙහි කළා. තමන්ගේ උදාහරණ සහිතව සිහි කරන්න ඕනෑ, අවීචි නිරය ඉඳන් පරනිම්මිතය දක්වා මේක බැහැගෙන තියෙන යමක් තියෙනවා ද කියන එක.
එතකොට ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ diagram වල slide 6 වලට මනස යොමු වුණා. ඉතින් ඒකෙ අපි දන්නවා, කාම ධාතුවලින් කාම සඤ්ඤා ඇති වෙලා කාම සඤ්ඤා නිසා ඇති වෙන්නේ දෝමනස්සය පමණයි කියලා. එතකොට ඒ ජරා වේදනා අසම්පජාන රේඛාවේ වේදනාව දුකයි කියලා දැනගන්නවා.
අපි මේ දුක වූ වේදනාවන් අත්තා කරගෙන, සෝක කරන බව පැහැදිලියි. ඉදංසච්චයට බැසගෙන ඇත්තා වූ, සුභ යන මෝඩ හැඟීම, කාම ධාතුව නිසා හටගත්තෙකි. එය සත්‍යක් වශයෙන් ගෙන, නැවතත් විඤ්ඤාණ ධාරාව මගින් ගෙන ඒම, සංස්කාරයන්ට පුරුද්දක් වී ඇත. සංස්කාරයන් මිය යන්නේ ඉතිරිව ඇත්තේ දුක පමණි. මෙය සෝකය මෙනෙහි කිරීමෙන් වැටහෙනවා.
මරණය ආයු ගෙවීමෙන් ජීවිත ඉන්ද්‍රිය සිඳීම ලක්ෂණ කොට ඇත්තේ ය. එය දුකට පදට්ඨානයයි. දුක කය පෙළීම ලක්ෂණ කොට ඇත්තේ ය. එය දොම්නසට පදට්ඨානයයි. දෝමනස්සය සිත පෙළීම ලක්ෂණ කොට ඇත්තේ ය. එය සෝකයට පදට්ඨානයයි. සෝකය, සෝක කිරීම ලක්ෂණ කොට ඇත්තේ ය.
සංස්කාර දෙකක් සමාන නැත. එසේ නම් සංකල්ප දෙකක් සමාන නොවේ. සංකල්ප දෙකක් සැසඳීම සිදු කරන්නේ සෝකයට පැමිණි පසුවයි. සමාන නොවෙන විට දොම්නස ඇති වෙනවා. මෙසේ අපි දෝමනස්සයත් සෝකයත් අතර දෝලනය වන බව දැක, අත්හරිනවා හැර වෙන කළ යුතු දෙයක් නැති යැයි වැටහෙන්නේ නිරෝධය ඇති වෙයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්