ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ, ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාවක් ගත්තා භාවනාවට. “යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ඉඤ්ජිතපච්චයා. ඉඤ්ජිතානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො. එතමාදීනවං ඤත්වා, දුක්ඛං ඉඤ්ජිතපච්චයා. තස්මා හි එජං වොස්සජ්ජ, සඞ්‌ඛාරෙ උපරුන්ධිය. අනෙජො අනුපාදානො, සතො භික්ඛු පරිබ්බජෙති.”
යම්කිසි දුකක් පහළ වේ නම්, ඒ හැම දුක ඉඤ්ජිත ප්‍රත්‍යයෙන් වෙයි. ඉඤ්ජිතයාගේ ම නිරෝධයෙන් දුක්ඛයාගේ සම්භවයෙක් නැත. “දුක්ඛය ඉඤ්ජිත ප්‍රත්‍යයෙන් වේ” යන තෙළ කරුණ, ආදීනවය දැන, එහෙයින් ම තෘෂ්ණා සංඛ්‍යාත එජාව හැර පියා, සංඛාරයෙනි දු නිරුද්ධ කොට, එජා රහිත වූයේ උපාදාන නැතියේ මහණ, සතිමත්ව නික්ම වේ යැයි.
එතකොට මේකේ පාලි භාෂාවේ වචන, පොඩ්ඩක් බලන්න ඕනෑ. ඒකෙ ඉඤ්ජිත කියන්නේ චලනය, සෙලවීම. ඉංග්‍රීසියෙන් කියනවා agitation, movement කියලා. එතකොට ඊළඟට පෙන්නනවා එජා වොස්සජ්ජ කියලා. එජා කියන එක, එතනත් ඒ චලනය, motion, disturbance කියන එක තියෙනවා.
මහා නිද්දේසයේ පෙන්නනවා මේ “එජා” කියන්නේ තෘෂ්ණාව කියලා. ඒකේ හරි අර්ථය තමයි, තෘෂ්ණාව නිසා සෙලවීම. “සම්භවො” කියලා කියන්නේ, යමක් සැඟවිලා තිබිලා මතු වෙනවා. Emergence කියන අර්ථය. එතකොට මේ ඉඤ්ජිතය කියන එක චලනය, තණ්හා, දිට්ඨි, මාන, ක්ලේශ, කම්ම මගින් වෙනවා, කියන අර්ථයන් එහෙම පැහැදිලි කිරීම් තියෙනවා.
මේක තවදුරටත් පැහැදිලි වෙනවා, සංයුත්ත නිකායේ, සළායතන සංයුත්තයේ, ඡන්න වග්ගයේ ප්‍රථම එජා සූත්‍රය, ඒකේ පෙන්නනවා, “එජා භික්ඛවෙ රොගො, එජා ගණ්ඩො, එජා සල්ලං, තස්මාහි භික්ඛවෙ, තථාගතො අනෙජො විහරති, වීතසල්ලො.”
“මහණෙනි, එජා, රෝගයකි, එජා ගඩෙකි, එජා හුළෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා තථාගත තෙමේ, තෘෂ්ණාව නිසා සෙලවීම රහිතව, පහ වූ උල් ඇතිව වෙසේ. මහණෙනි, ඉදින් මේ මහණ, තෘෂ්ණා රහිතව, උල් නැතිව, වෙසෙන්නෙමියි කැමති වන්නේ නම්, චක්ඛුං න මඤ්ඤෙය්‍ය, අභ්‍යන්තර ඇස මම යැයි නොහඟනේ ය. චක්ඛුස්මිං න මඤ්ඤෙය්‍ය, අභ්‍යන්තර ඇසෙහි මම ඇතැයි නොහඟනේ ය.” ඒ කියන්නේ in කියන අර්ථය. ඇසෙහි කියන අර්ථය. “චක්ඛුතො න මඤ්ඤෙය්‍ය, අභ්‍යන්තර ඇසෙන් මම ඇතැයි නොහඟනේ ය.” ඒ කියන්නේ from කියන අර්ථය, ඇසෙන් කියන්නේ. චක්ඛුං මෙති න මඤ්ඤෙය්‍ය. අභ්‍යන්තර ඇස මට අයත් යැයි නොහඟනේ ය.
ඉතින් ඕක සසඳා බලන්න පුළුවන්, ඔය අපි 19/04/2019 ඉගෙනගෙන තියෙනවා, රූපය මම යැයි නොදකී, “න රූපං අත්තතො සමනුපස්සති.” රූප සහිත වූවක් හෝ මම යැයි නොදකී, “න රූපවන්තං වා අත්තානං.” ඊළඟට තුන් වෙනිවට, මා තුළ හෝ රූපය ඇතැයි නොදකී, “න අත්තනි වා රූපං.” ඊළඟට හතර වෙනුවට, රූපය තුළ හෝ මා ඇතැයි නොදකියි, “න රූපස්මිං වා අත්තානං.”
ඉතින් ඔය අනුපිළිවෙළ ම නෙමේ, ඒක අපි රූපයත් එක්ක පොඩ්ඩක් බලමු. ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්නනවා, රූපෙ න මඤ්ඤෙය්‍ය, රූපය මම යැයි නොහඟනේ ය. ඒක අර පළවෙනි කාරණය: “න රූපං අත්තතො සමනුපස්සති,” කියන අර්ථය. “රූපෙසු න මඤ්ඤෙය්‍ය,” රූපයන්හි මම ඇතැයි නොහඟනේ ය. ඒක අර හතර වෙනිවට කිවූ කාරණාව, “න රූපස්මිං වා අත්තානං” කියන එක. “රූපතො න මඤ්ඤෙය්‍ය” රූපයේ මම ඇතැයි නොහඟනේ ය. ඒක “න අත්තනි වා රූපං,” ඒ තුන් වෙනි කාරණය. හතර වෙනිවට “රූපා මෙති න මඤ්ඤෙය්‍ය” රූපයෝ මට අයත් යැයි නොහඟනේ ය. “න රූපවන්තං වා අත්තානං.” ඒ කියන්නේ අර දෙවෙනියට කිව්ව කාරණය 19/04/2019 භාවනාවේ. එතකොට ඒ විදිහේ ගැළපීමක් කරගන්න ඕනෑ.
එතකොට ඒ විදිහට ම බුදුහාමුදුරුවෝ පෙන්නනවා චක්ඛු විඤ්ඤාණය, චක්ඛු සම්‌ඵස්‌සය, චක්ඛු සම්‌ඵස්‌සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුඛ වූ හෝ යම් විඳුමෙක් උපදී නම්, එය මම යැයි නොහඟනේ ය. එහි මම ඇතැයි නොහඟනේ ය. එයින් මම ඇතැයි නොහඟනේ ය. එය මට අයත් යැයි නොහඟනේ ය. සියල්ල නොහඟනේ ය. සියල්ලෙහි නොහඟනේ ය. ඒ කියන්නේ in කියන අර්ථය. සියල්ලෙන් නොහඟනේ ය. ඒ කියන්නේ from කියන අර්ථය. සියල්ල මට අයිති යැයි නොහඟනේ ය. හේ මෙසේ නොහඟනේ ලොව කිසිවක් තෘෂ්ණා, දිට්ඨි වශයෙන් නොගනී. නොගන්නේ නොතැති ගනී. නොතැති ගන්නේ, තෙමේ ම පිරිනිවේ. ඉපදීම ගෙවින බඹසර වැස නිම වන ලදී. කටයුතු කරන ලදී. මෙය රහත් බව පිණිස අනෙකෙක් නැතැයි දැනගනී.
ඉතින් මේකේ භාවනාව සඳහා, ඔය 22/01/2021 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කරන ලද, diagram එකේ කබලිංකාර ආහාරය සහ ජාති දක්වා රේඛාවේ, රූපයේ මඤ්ඤෙය්‍ය, රූපයන් මම යැයි හඟනේ ය. අන්න ඒක අපි පෙන්නුවා, “රූපං අත්තතො සමනුපස්සති.” ඒක අපි ලකුණු කරගන්න ඕනෑ. ඊළඟට රූපයෝ මට අයත් යැයි කියලා ලකුණු කරගන්නවා, අපි මනොසඤ්‌චෙතනා ආහාරයේ ඉඳන් භය අගතිය දක්වා. ඉතින් ඒ diagram එක ඕගොල්ලො දන්නවා, මේ පරිදේව වෙලා එතැනින් අපි විඤ්ඤාණ ආහාරයට පරාමාසයේ ඉඳන් රේඛාවක් තියෙනවා. එතකොට විඤ්ඤාණ ආහාරයෙන් පල්ලෙහාට යනවා, මෝහ අගතියට. එතන අවිද්‍යා ආශ්‍රවයෙන් වම් පැත්තට කාම ආශ්‍රවයට එනවා, රාග සල්ලය, ජාතිය, අර පකප්පිතා කියන පාර, ලකුණු කරලා තියෙනවා. ඒකෙන් නාමරූප දක්වා ගමන් කිරීම ලකුණු කරලා තියෙනවා. එතකොට ඒ diagram එකේ එතන අපි සඳහන් ධර්ම කොටස අපි සිහි කළොත්, යම් පරිදේව වීමක් සිදු වූවා ද, එමගින් අභිජ්ඣා අගය සනාථ කිරීම වන අතර එමගින් මෝහය සනාථ කිරීමත්, ජාති දක්වා ගමන් කිරීමත්, වන බව සාකච්ඡා කළා.
මෙහි යම් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීමක් ඇති ද, එමගින් ජරා වේදනා අසම්පජාන රේඛාව, clockwise කරකැවී තණ්හා පපඤ්චය සෑදේ. මෙහි මූලය වූයේ අස්මිතියයි. තණ්හා පපඤ්චය සෑදේ ද, ඉන් අනතුරුව වේදනා, ඒ කියන්නේ චක්ඛු ස්පර්ශය නිසා ඇති වන සුඛ, දුක, අදුක්ඛමසුඛ, යම් විඳීමක් උපදී නම්, එය “මම යැයි” හඟනේ ය. එහි “මම ඇතැයි” හඟනේ ය. එයින් “මම ඇතැයි” හඟනේ ය. “මගේ යැයි” හඟනේ ය. මෙසේ එජා තණ්හාව වන්නේ ය. මෙසේ චලිතයත්, චලිතය නිසා ඇති වුණා වූ අස්මිතියත් වටහා ගන්නේ, සියල්ල නොහඟනේ ය. සියල්ලෙහි නොහඟනේ ය. සියල්ලෙන් නොහඟනේ ය. සියල්ල මට අයත් යැයි නොහඟනේ ය. ඒ මෙසේ නොහඟනේ, ලොව කිසිවක් තෘෂ්ණා දිට්ඨි වශයෙන් නොගනී. නොගන්නේ නොතැති ගනී. නොතැති ගන්නේ තෙමේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්