ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ද්වයතානුපස්සනා සූත්‍රයේ, ගාථාවක්. සුත්ත නිපාතයේ පිටුව 230. “යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං තණ්හා පච්චයාති, අයමෙකානුපස්සනා. තණ්හාය ත්වෙව අසෙස විරාගනිරොධා, නත්ථි දුක්ඛස්ස සම්භවොති. අයං, දුතියානුපස්සනා.” යම්කිසි දුකෙක් සම්භූත වේ නම්, ඒ හැම දුක, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වෙයි යන මේ එක් අනුපස්සනායක. ඒ තෘෂ්ණාවගේ ම අශේෂ විරාග නිරෝධයෙන්, දුක්ඛයාගෙ සම්භවයක් නැතයි යන මේ දෙවන අනුපස්සනාය.
“තණ්හා දුතියො පුරිසො, දීඝමද්ධානං සංසරං. ඉත්ථා භාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.” 743 ගාථාව. තෘෂ්ණා දෙවැනි කොට ඇති පුරුෂ, දිගු කල් සැරිසරන්නේ, මෙම භවය හෝ වෙන භවයක් යන දෙකින් යුත් සංසාරය ඉක්ම නොයයි.
“එතං ආදීනවං ඤත්වා, තණ්හා දුක්ඛස්ස සම්භවං. වීතතණ්හො අනාදානො, සතො භික්ඛු පරිබ්බජෙති.” 744 ගාථාව. තණ්හාව දුක්ඛයාගෙ සම්භවයට කාරණා යැයි තෘෂ්ණාවගේ ආදීනව දැන, පහ වූ තෘෂ්ණා ඇතියේ, ආදාන නැතියේ, සමෘතිමත් මහණ නික්ම යන්නේ ය.
“තණ්හා දුතියො පුරිසො” යන්න සිහි කළා. තෘෂ්ණාව දෙවෙනි කොට ඇති පුරුෂ, මෙහි දී මෝහ ගලේ වැදී කුඩු වී, අවිද්‍යා ප්‍රත්‍යයෙන් තණ්හා නමැති සංස්කාරයත්, තණ්හාවෙන් ජරා, දුක්ඛ, දෝමනස්ස යන තුන් අගයන් එකතු කරන්නේ ය, යන්නට අවධානය යොමු කළා. තෘෂ්ණාව දෙවෙනියා වන්නේ, පළමුවැනියා කවරෙක් ද? ඔහු අත්තා, බව බුදුපියා පැවසුවා.
මේ චේතනා සිට පරාමාස අතර ලකුණු කරන 10/09/2021 නිබ්බාන භාවනාවේදි ඉගෙන ගත් අත්තා ය. එහි දී “විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප” යන රැල්ල සහ “නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය,” යන රැල්ල අත්තානු දිට්ඨියේ බලපෑම සහිතව මෙම ධර්මතා දෙක එකතු වීම සාකච්ඡා කළෙමු. මෙහි චේතනා සිට පරාමාස දක්වා අත්තා සෑදීම යන්න පළමුවැනියා ලෙස ගත යුතුයි.
“ඉත්ථා භාවඤ්ඤථාභාවං.” මෙම භවය හෝ වෙන භවයක්. මෙහි දී මෙම භවය වශයෙන් ගත යුත්තේ, සවිඤ්ඤාණකෙ කාය. විඤ්ඤාණය සහිත කය බව වැටහුණා. වෙන භවයක් වශයෙන් ගත යුත්තේ තණ්හාව විසින් නියම කරනු ලබන, භවයක් බව වැටහුණා.
“වීතතණ්හො.” පහ වූ තෘෂ්ණා ඇතියේ. මෙය වීමට චෙතො විමුක්තිය භාවිතා කළ යුතු අතර, ජාති සිට ජරා යාමට තුඩු දෙන මිච්ඡා දිට්ඨියට ඉඩ නොදිය යුතු බව බුදුපියා පැවසුවා. මෙය සිදු වන්නේ දුක්ඛෙ අනත්ත සඤ්ඤාව මනා කොට පිහිටුවන්නේ නම් ය. මෙසේ විධා සමතික්‌කන්‌තං. ඉක්ම වූ විධා ඇති ශාන්ත වූ මොනවට මිදුණු සිත වෙයි නම්, එවැනි සුව මුක්ත චිත්තය තුළ අනාදානො, ඇලීම නැති වෙයි. මෙසේ නිර්වාණය සාක්ෂාත් කර ගනී.
ඒක තමයි මං කරපු භාවනාව.