Date: 07/01/2022 Name: Abhinna

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, අභිඤ්ඤා වග්ගයේ, අභිඤ්ඤා සූත්‍රය.

තථාගතයන් වහන්සේ දේශනා කරනවා. “අත්ථි භික්ඛවෙ ධම්මා, අභිඤ්ඤා පරිඤ්‌ඤෙය්‍යා. අත්ථි භික්ඛවෙ ධම්මා, අභිඤ්ඤා පහාතබ්බා. අත්ථි භික්ඛවෙ ධම්මා, අභිඤ්ඤා භාවෙතබ්බා. අත්ථි භික්ඛවෙ ධම්මා, අභිඤ්ඤා සච්‌ඡිකාතබ්‌බා.”

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දත යුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රහීණ කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් දැන වැඩිය යුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් දැන පිරිසිඳ දත යුතු ධර්මයෝ කවරේ ද? පංචඋපාදානස්කන්ධයෝ ය. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥානයෙන් දැන පිරිසිඳ දත යුතු යැයි කියත්.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රහීණ කටයුතු ධර්මයෝ කවරේ ද? අවිද්‍යාව ද භව තෘෂ්ණාව ද යන දෙකයි. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥානයෙන් ප්‍රහීණ කටයුතු ය.

මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥානයෙන් වැඩිය යුතු ද? සමථය ද විදර්ශනාව ද යන දෙකයි. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥානයෙන් වැඩිය යුත්තාහ.

මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ද? විද්‍යාව ද විමුක්තිය ද යන මේ ධර්මයෝ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැයි කියනු ලැබේ.

එතකොට පළමුවෙන් ම පංචඋපාදානස්කන්ධයේ සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන එක දත යුතු ය. ඉතින් ඒක අපි භාවනාව කරලා තියෙනවා, 08/09/2016 නිබ්බාන භාවනාවේ.(*1)

ඊළඟට දෙවනියට, භව තණ්හාව, පරාමාස සහ භය අගති අතර ලකුණු කරනු ලබයි. අවිද්‍යාව වශයෙන් අවිද්‍යා යෝගය ගත හැකි ය. මෙම ධර්මයෝ විශිෂ්ට ඥානයෙන් ප්‍රහීණ කටයුතු ය.

තුන් වෙනුව භාවිත චිත්තා (*2) මගින් සමථය පිරීම ද, භාවිත ප්‍රඥා (*3) මගින්, විදර්ශනා පිරීම ද සිදු වේ. ඒ ප්‍රඥාව, අවිද්‍යා ප්‍රහාණයෙන් සිත උපක්ලේශයන්ගෙන් වෙන් කරන නිසා, ප්‍රඥා භාවනාවෙන් චිත්ත භාවනාව ම පරිපූර්ණ කෙරේ. ඒ සමථය වඩනුයේ රූපය පිරිසිඳ දැනගනී. රූපය දැනගනුයේ තණ්හාව දුරු කෙරේ. තෘෂ්ණාව දුරු කරන ලද්දේ චෙතො විමුක්තිය පසක් කෙරේ. විදර්ශනාව වඩනුයේ නාමය පිරිසිඳ දැනගනී. නාමය දැනගනුයේ, අවිද්‍යාව දුරු කෙරේ. අවිද්‍යාව දුරු කරන ලද්දේ ප්‍රඥා විමුක්තිය පසක් කෙරේ.

යම් කලක භික්ෂුව විසින් නාමය ද රූපය ද යන ධර්මයෝ දෙදෙන පරිඤ්ඤත වූවා වූ වෙත් ද, එකල්හි ඔහු විසින් අවිද්‍යාව ද භව තෘෂ්ණාව ද යන ධර්මයෝ දෙදෙන ප්‍රහීණ වූවාහු වෙති. සමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන වඩන ලද්දාහු වෙති. විද්‍යාව ද විමුක්තිය ද යන ධර්මයෝ දෙදෙන පසක් කරන ලද්දාහු වෙති.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 19/02/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ භාවනාවේ විදිහට ඒක කරන්න ඕනි.

(*2) චිත්ත භාවනා සම්මා සංකප්ප, සම්මා සමාධි

(*3) ප්‍රඥා භාවනා සම්මා දිට්ඨි, සම්මා සති