Date: 28/01/2022 Name: බ්‍රාහ්මණ සත්‍ය

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, චතුත්ථ පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වග්ගයේ චතුකොටික සුඤ්ඤතා සූත්‍රය, කියලා කියනවා. බුරුමයේ තියෙන එකේ පෙන්නන්නෙ, බ්‍රාහ්මණ සච්ච සූත්‍රය කියලා.

පිරිවැජියෙනි, මා, තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන ලද, මේ සතර බ්‍රාහ්මණ සත්‍ය කෙනෙක් ඇත. කවර සතර සත්‍ය කෙනෙක යත්.

පිරිවැජියෙනි, මෙලොව ක්ෂීණාස්‍රව බ්‍රාහ්මණ මෙසේ කියයි. “සියලු ප්‍රාණීහු අවධ්‍යයෝ ය” කියා යි. ඒ කියන්නේ “all living beings are to be spared, not to be killed” කියන එක. මෙසේ බණන බමුණු සැබෑවක් කියයි. මුසා නොකියයි. හේ ඒ සැබෑව බිණීමෙන් “මම ශ්‍රමණයෙමි” යි, නොහඟයි. “මම බ්‍රාහ්මණයෙමි” යි, නොහඟයි. “මම ශ්‍රේෂ්ඨයෙමි” යි, නොහඟයි. “මම සමාන” යි, නොහඟයි. “මම හීනයෙමි” යි, නොහඟයි. තව ද එහි යම් ම සැබෑවෙක් ඇද්ද, ඒ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රාණයන් පිළිබඳ වූ ම දයාවට අනුකම්පාවට පිළිපන්නේ වෙයි.

ඊළඟට කියනවා, තව ද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි. “සියලු කාමයෝ අනිත්‍යය හ. දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ” යි. “සබ්‌බෙ කාමා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති.” මෙසේ බණන බමුණු සැබෑවක් කියයි. මුසා නොකියයි. හේ ඒ සැබව බිණීමෙන් “මම ශ්‍රමණයෙමි” යි, නොහඟයි. “මම බ්‍රාහ්මණයෙමි” යි, නොහඟයි. “මම ශ්‍රේෂ්ඨයෙමි” යි, නොහඟයි. “මම සමාන” යි, නොහඟයි. “මම හීනයෙමි” යි, නොහඟයි. වැළිත් යම් එහි සැබෑවක් ඇද්ද, හේ වෙසෙසින් දැන කාමයන්ගේ ම, නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

පාලි භාෂාවෙන් පෙන්නනවා, “නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්‌නො හොති” කියලා. තව ද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි. “සියලු භවයෝ අනිත්‍යය හ. දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ” යි. “සබ්‌බෙ භවා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති.” මෙසේ බණන බමුණු සැබෑවක් කියයි. මුසා නොකියයි. හේ සැබෑ බිණීමෙන්, “මම ශ්‍රමණයෙමි” යි, නොහඟයි. “මම බ්‍රාහ්මණයෙමි” යි, නොහඟයි. “මම ශ්‍රේෂ්ඨයෙමි” යි, නොහඟයි. “මම සමාන” යි, නොහඟයි. “මම හීනයෙමි” යි, නොහඟයි. වැළිත් යම් එහි සැබෑවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන භවයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

තව ද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි. “මම කිසි තැනෙක්හි නැත. කිසිවෙකුගේ යැයි කැඳවිය යුතු කොට ද නැත. කිසි තැනෙක්හි මාගේ යැයි නොදක්මි. කිසි තැනෙක්හි මාගේ යැයි කැඳවිය යුතු, ඒ කියන්නේ කිඤ්චන කියන එක, පළිබෝධෝවෙක් නැතෙයි. මෙසේ, චතුකොටික සුඤ්ඤතා බණන බමුණු සැබෑවක් කියයි. මුසා නොකියයි. හේ ඒ සැබැවින් “ශ්‍රමණයෙමි” යි, නොහඟයි. “බ්‍රාහ්මණයෙමි” යි, නොහඟයි. “මම ශ්‍රේෂ්ඨයෙමි” යි, නොහඟයි. “මම සමාන” යි, නොහඟයි. “මම හීනයෙමි” යි, නොහඟයි. වැළිත් යම් එහි සැබෑවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන අකිඤ්චනභාව සංඛ්‍යාත ප්‍රතිපදාවට ම පිළිපන්නේ වෙයි.

ඉතින් මෙතන මේ හතර වෙනි කාරණයේ දී, තියෙන්නෙ අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රය, විදිහට අර “නාහං කච්චන කස්සචි කිඤ්චනතස්මිං,” කියලා එහෙම කිව්ව එක.

එතකොට මෙතන මේ “සියලු ප්‍රාණීහු අවධ්‍යයෝ” යන කොටස සඳහා, 17/07/2017 නිබ්බාන භාවනාව මෙන් සිහි කළා. ඒකේ ඔයගොල්ලෝ දන්නවා diagram එකක් තියෙනවා, ජරා වේදනා අසම්පජාන රේඛාව. වේදනාවයි අසම්පජානයයි අතර කාම සඤ්ඤාව.(*1) එතන අපි ලියාගෙන තියෙනවා, මෙත්තා. රූපය ජරා බව දැන ඉක්මවීමෙන් කාම සඤ්ඤා ඉවතලයි.

s_AvitakkaAvicara.jpg

ඊළඟට පරාමාසකායගන්ථයයි, ජීවිත ඉන්ද්‍රියයි, අතර ලකුණු කරලා තියෙනවා ව්‍යාපාද සඤ්ඤාව. එතන B කියලා ලකුණු කරලා තියෙනවා, භවයේ යන විතක්කය නැති වීමෙන්, ව්‍යාපාද සඤ්ඤා නැති වෙයි කියලා. ඊළඟට ජීවිත ඉන්ද්‍රියයි, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි, අතර විහිංසා සඤ්ඤාව ලකුණු කරලා තියෙනවා. එතැන C කියලා ලකුණු කරලා තියෙනවා, A සහ B සහ අමෝහ පාරේ යන නිසා සංස්කාර ඉවත ලා විහිංසා සඤ්ඤාවෝ මඟ හරී. විහිංසා සඤ්ඤාවෝ මඟ හරින්නේ විහිංසා විතක්කය ඉක්මවයි.

ඊළඟට ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි, පරිදේවයයි, අතර විහිංසා සඤ්ඤාව ලකුණු කරලා තියෙනවා. ඉතින් ඒකෙන් විහිංසා විචාරයයි නැති වෙන්නේ. එතැන D කියලා සඳහන් කරලා පෙන්නලා දීලා තියෙනවා. ඉහත විහිංසා සඤ්ඤාවෝ මඟ හරින්නේ, විහිංසා විතක්කය ඉක්මවීමට දක්ෂ වන්නේ, ඉදංසච්චය තුළට මෙය ම සත්‍ය යැයි ගන්නා මුසාව බැස නොගන්නේ, මිච්ඡා දිට්ඨි නිසා වන අභිජ්ඣා ඉවතලයි. එනම් පග්ගහ නිමිත්ත තුළ සම්මා දිට්ඨිය නිසා අනභිජ්ඣාව, අනභිජ්ඣා වේ. මෙහි දී අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ නිර්වාණය ම සොයයි යන්නත්, අධිප්‍රඥා ශික්ෂාවත්, උදව් උපකාර කරයි.

ඊළඟට (*2) පරිදේවයයි, පරාමාසකායගන්ථයයි, අතර රේඛාවක් ඇඳලා. එතන ලකුණු කරලා තියෙනවා. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව හෝ අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව නොවේ නම්, පග්ගහ නිමිත්ත සම්පූර්ණ වන්නේ, චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස ගැනීම නිසා, පරාමාසය පිරිසිදු වේ කියලා.

එතකොට ඊළඟට, මේ අඤ්ඤාතාවින්ද්‍රියේ කාරණා හතර, යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද එම ආශ්‍රවයෝ නොඉපදවීම පිණිස වෑයම් කළ යුතුයි. එතැන අපි දන්නවා මේ ධ්‍යානයෝ නිසා කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව වීම කියන එක සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේක පහ කිරීම සඳහා අපි වෑයම් කරනවා. එතකොට ඒක ලකුණු කරලා තියෙනවා. අර B කියලා ලියාගත්ත තැන. ඒ කියන්නේ පරාමාසකායගන්ථයයි ජීවිත ඉන්ද්‍රියයි අතර, එක කියලා දාලා තියෙනවා. ඉතින් මේක නැවතීම සම්පූර්ණයෙන් සාර්ථක නොවුවහොත්, එමගින් වන්නා වූ යම් චේතනාවක් වේ ද, එහි බලපෑම ඉවත් කිරීමට අපි දෙවැනි කාරණය, යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතු ය. ඒක ලකුණු කරලා තියෙනවා ජීවිත ඉන්ද්‍රියයි, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි අතර රේඛාවේ.

ඊළඟට තුන, යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතු ය. තුන් වෙනි කාරණය මගින් දිට්ඨි ආශ්‍රව ඉවත් කිරීමට අපි උත්සාහ කරනවා. මෙතනදිත් සාර්ථක නොවන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ යම් දහමක් නිසා, ඇති වූ නිත්‍යභාවයක් වේ ද, එය නොදැනීමක් ඇති ද, එයයි. උදාහරණ වශයෙන් මේ deep space එකේ, එහෙම නැත්තම් ආකිඤ්චඤ්ඤායතනයේ ඉතා දුර ගිය අවස්ථාවල පවතින සියුම්භාවය ගන්න පුළුවන්. ඒකේ අර නිත්‍ය ස්වභාවයක් එතන වෙනවා.

ඊළඟට හතර වෙනුව, යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතු ය. එතකොට එතෙන්දිත් අපි සාකච්ඡා කරලා තියෙනවා, මේ අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව ඉවත් කිරීම කියන එකට උත්සාහ කරනවා කියලා. වෙලාවක මේක සාර්ථක වෙනවා, තවත් වරක මේක අසාර්ථක වෙනවා. කුමක් නිසා අසාර්ථක වේ ද? චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස නොගන්නා වූ අවස්ථාවෝ මේකට උදාහරණ වෙනවා. ඒ කියන්නේ මිච්ඡා ආජීවය ඇති අයකුට ආශ්‍රව නැසීම අපහසු වීම ලෙස ගන්න පුළුවන්. මේ කාරණය කුමක් නිසා ද? මිච්ඡා ආජීව නිසා ඇති වන මානය සියුම් ය, ඒ නිසා ය. යමක් තමාට අවශ්‍ය නම් ගත හැකි යැයි සිතයි. මේක බලපානවා. මට බඩගිනි නම්, මට ඕන නම් උයාගන්න පුළුවන්. අන්න ඒ වගේ සිතනවා.

මෙසේ පිරිසිදු පරාමාසය ඇත්තේ, මඤ්ඤතා නොවේ, එනම් “මම ශ්‍රමණයෙමි” යි, නොහඟයි. “මම බ්‍රාහ්මණයෙමි” යි, නොහඟයි. “මම ශ්‍රේෂ්ඨයෙමි” යි, නොහඟයි. “මම සමාන” යි, නොහඟයි. “මම හීන වෙමි” යි, නොහඟයි.

දෙවනුවට සඳහන්, සියලු කාමයෝ අනිත්‍ය ය දුක්ඛ ය පෙරළෙන සැහැවි ඇති යැයි යන්නත්, මෙම භාවනාවෙන් සිදු වෙනවා. කෙසේ ද? යමෙක් ජරා වේදනා අසම්පජාන රේඛාව විමසන්නේ, එය කැරකවීම නවතා කාමයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ ම වෙයි නම්, ඉහත පරිදි පරාමාසය පිරිසිදු වීම දක්වා යන්නේ ය.

මෙසේ ම තුන් වෙනුව, සියලු භවයෝ අනිත්‍ය ය දුක්ඛ ය පෙරළෙන සැහැවි ඇති ය යන්න, පරාමාස ජීවිත ඉන්ද්‍රිය රේඛාවෙන් පටන්ගෙන, ඉන් ඔබ්බට නොයාම, ඒ කියන්නේ දෙක, තුන, හතර කොටස් ලෙස මෙනෙහි කරන්න පුළුවන්.

හතර වෙනුව, මම කිසි තැනෙක්හි නැත. කිසිවෙකුගේ යැයි කැඳවිය යුතු කොට ද නැත. කිසි තැනක්හි මාගේ යැයි නොදක්මි, කිසි තැනක්හි මාගේ යැයි කැඳවිය යුතු නැත. ඒක තුන, හතර කොටස් මෙන් විමසන්න පුළුවන්.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 26/02/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) එතන අපි A කියලා ලකුණු කරලා තියෙනවා.

(*2) E කියලා ලකුණු කරලා තියෙනවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේ භාවනාවේ දී තථාගතයන් වහන්සේගේ වචනයට ගරු ඇතිව සිහි කරන්න ඕන. ඒ කියන්නේ ඔය “සියලු ප්‍රාණීහු අවධ්‍යයෝ ය” කියලා all living beings are to be spared මේ විදිහට බණන බමුණු සැබෑවක් කියයි මුසා නොකියයි. හේ ඒ සැබෑව බිණීමෙන් “මම ශ්‍රමණයෙමි” යි කියලා හඟන්නේ නැහැ. “මම බ්‍රාහ්මණයෙමි” යි කියලා හඟන්නේ නැහැ. “මම ශ්‍රෙෂ්ඨයෙමි” යි හඟන්නේ නැහැ. “මම සමාන” යි කියලා ගන්නේ නෑ. එතකොට “මම හීනයෙමි” යි කියලා හඟන්නේ නැහැ. මෙහි සැබෑවක් ඇද්ද, ඒ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රාණයන් පිළිබඳ වූ දයාවට අනුකම්පාවට පිළිපන්නේ වෙයි.

අන්න ඒ විදිහට මෙනෙහි කරනවා නම් තමන්ට පේනවා, මේ මදුරුවෙක් වාගේ සතෙක් පහත් යැයි කියලා නොසිතන්නේ තමා උසස් යැයි නොසිතන්නේ, all living beings are to be spared කියන එක තමන්ට වැටහෙනවා. එතකොට මේ භාවනාවට ගොඩාක් දුර යන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. කුඩා නිසා ගත යුත්තක් නැති අයෙකු ලෙස සිතා මරණය සිදු කිරීමෙන් වැළකෙන්නේ නම් විහිංසාව හොඳින් පිහිටා, එයින් ම උපෙක්ඛාව ඇති වෙනවා. අර තථාගත වචනෙට හොඳට ගරු කරන්න. අන්න ඒකයි මෙතන අවශ්‍ය වන්නේ.

එතකොට දැන් අපි සතෙක්ව එහෙම මරන්නේ කල්පනා කරන්නේ, දැන් ඉතින් ඔය සුදු අය එහෙම එක පාරට ම සතෙක් දැක්කහම චප්ප කරලා දානවා. මේ කියන්නේ මම ලොකු මනුස්සයා මේකව ගත යුත්තක් නෑ. අන්න ඒ විදිහට නේ. එතකොට එහෙම ගන්නැතුව තමන් අර මං උසස් පහත් කතාව, ඒවා නැත්නම් තමන්ට පේනවා උපෙක්ඛාව හොඳට පවතිනවා කියලා.

ඒ වගේ ම තමයි, කාම සම්පත්, දෙවනුවට පෙන්නුව නේ සබ්‌බෙ කාමා අනිච්චා කියලා, එතකොට කාම සම්පත් ඇති අයකු දෙස බලන්නේ සියලු කාමයෝ අනිත්‍යය දුක්ඛය පෙරළෙන සැහැවි ඇතියහ. සබ්‌බෙ කාමා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති. අන්න ඒක සිහි කරනවා නම් කාම වස්තු නිසා උසස් පහත් සමාන නොවන්නේ යැයි වැටහෙන්නේ කාම වස්තූන් ඉක්මවා, එනම් ජරා වන රූපය ඉක්මවා මෙත්තා චෙතො විමුක්ති සම්පන්න වෙන්න පුළුවන්.

තුන් වෙනුව ගත්තහම සියලු භවයෝ අනිත්‍යය දුක්ඛය පෙරළෙන සැහැවි ඇතියහ, සබ්‌බෙ භවා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති. බ්‍රහ්ම ලෝක වැනි තලයන්හි ඉපදීම නිසා උසස් පහත් සමාන වන්නේ යැයි නොසිතන්නේ ඉපදීම මගින් නිත්‍යභාවයක් නොවන බව වැටහෙන්නේ, භවයේ යන විතක්කය නැතිවන්නේ, මුදිතා චෙතො විමුක්ති සම්පන්න වෙන්න පුළුවන්.

ඉතින් හතර වෙනි එකේ දී අනාශ්‍රව වෙනවා.