Date: 04/11/2022 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මහා නිද්දේසයේ අත්ත දණ්ඩ සූත්‍ර නිද්දේසයේ පස් වන ගාථාව.

“යෙන සල්‌ලෙන ඔතිණ්‌ණො, දිසා සබ්බා විධාවති. තමෙව සල්ලමබ්බුය්හ, න ධාවති න සීදති.”

යම් සල්ලයකින් විදිනා ලද සත්ව තෙමේ සියලු දිගට දිවෙන්නේ ද, ඒ සල්ලය ම උදුරාපියා නොදිවෙයි නොගැලේ.

සල්ල නම් සත් සල්ල කෙනෙකි. රාග සල්ලය, ද්වේෂ සල්ලය, මෝහ සල්ලය, මාන සල්ලය, දිට්ඨි සල්ලය, සෝක සල්ලය, කථංකථා සල්ලය.

මෝහ සල්ලය කවර යත්? දුක්ඛ සත්‍යයෙහි නොදැනීම. දුක්ඛ සමුදය සත්‍යයෙහි නොදැනීම. දුක්ඛ නිරෝධ සත්‍යයෙහි නොදැනීම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍යයෙහි නොදැනීම.

කථංකථා සල්ලය කවර යත්? දුක්ඛයෙහි සැක ය. දුක්ඛ සමුදයෙහි සැක ය. දුක්ඛ නිරොධයෙහි සැක ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපත්තියෙහි සැක ය.

සෝක සල්ලය කවර යත්? ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ, භෝගව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ, රෝගව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ, සීලව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ, දිට්ඨිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ, අනිත් ව්‍යසනයන්ගෙන් හෝ යුත්ත වූවහුගේ, සෝකයෙක්, සෝකාකාරයෙක්, සෝක කළ බවෙක්, ඇතුළත හාත්පසින් සෝක කිරීමෙක්, ඇතුළත හාත්පසින් දැවීමෙක්, සිත දැවෙන අයුරෙක්, දොම්නසෙක් වේ ද මේ සෝක සල්ලයයි.

28/10/2022 නිබ්බාන භාවනාව සමඟ විමසන්නේ, එහි පළවන අවස්ථාවේ දී සඤ්ඤාවන්ට ඇති සැක නැති කිරීමට දිට්ඨීන් පරිපූර්ණ කිරීමට වෑයම් කරනුයේ, වෙන වෙන වූ දිට්ඨීන් සෑදීම කරන්නේ දිට්ඨි සල්ලයෙන් කැරකැවීම සිදු වේ. කථංකථා සල්ලය ක්‍රියාත්මක වේ. මෙසේ විඤ්ඤාණ ඇති වේ. එයින් දුවයි. ගතියට පැමිණේ.

දෙවන අවස්ථාවේ දී චිත්ත සංස්කාරයන් කෙරෙහි ඇති සැක නැති කිරීමට වෑයම් කරනුයේ, පෙර චිත්ත සංස්කාරයන් නිසා ඇති වූ තිබූ ස්ථාවරය නැති නිසා, නැවතත් සෝකයට පත් වන්නේ නම් රාග සල්ලයෙන් කැරකැවීම සිදු වේ. කුමක් නිසා ද? යම් අවිද්‍යා ආශ්‍රවයක් චිත්ත සංස්කාර නිසා ඇති වී තිබුණා ද, එමගින් කාම ආශ්‍රව කරා ගමන් කිරීමට සඤ්ඤා සහ දිට්ඨි කෙරෙහි ඇති සැක මගින් රුකුල් දෙන නිසා ය.

තෙවන අවස්ථාවේ දී සංස්කාරයන් පෝෂණය කිරීම සඳහා වෑයම් කරන්නේ මෝහ සල්ලයෙන් කැරකැවීම වන්නේ මෝහය ම වැඩි වේ. සල්ලයන් උදුරා දමන්නේ නම් නොදිවේ. මේ සඳහා සතර ඉද්ධිපාදයෝ වැඩිය යුත්තාහ ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 19/11/2022

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකේ මේ දෙවෙනි අවස්ථාවේ දී ඔය සංකල්ප දෙක සමාන නොවූයේ නම් සෝකයට පැමිණේ, සංකල්ප දෙක සමාන නොවූයේ නම් ව්‍යාධි ධර්මය බව අපි දනිමු. ධ්‍යාන තලයක් මගේ යැයි ගත්තේ නම් රෝගයක් ම ගත් බව අපි දනී. එසේ නම් රාග සල්ලයෙන් කැරකීමට යන්නේ තව තවත් රෝගී වූ දහම් සොයයි. මෙසේ දකින්නේ ලැජ්ජාව ඇති වේ. මෙසේ ශ්‍රද්ධාවෙන් හිරිය ඇති වේ. මෙසේ ධ්‍යාන තල විමසා වන ශ්‍රද්ධාවෙන් ඇති වන හිරිය ඉතා බලගතු ය.

තවත් ටිකක් එකතු කරනවා නම්, සෝක සල්ලය සිහි කරන්නේ ඇස් දෙක ම ඇරීම සිදු විය. ඉතින් මේක මෙහෙම ඇරෙන්න, අර ඉස්සෙල්ලා භාවනාවේ දී ඇස් ඇරීම උදව් උපකාර වෙනවා. මෝහ සල්ලය සිහි කරන්නේ, දුක්ඛ සත්‍ය නොදැනීම, දුක්ඛ සමුදය සත්‍ය නොදැනීම, දුක්ඛ නිරෝධ සත්‍යය නොදැනීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය නොදැනීම, සතර අගති පාරවල් හතරට යොදා බලන්න. පළමු වන පාරට රාග සල්ලයෙන් කැරකීමට කුමකට මෝහයේ සිට යන්නේ ද? ඒ කියන්නේ, දැන් අපි සාකච්ඡා කරන එකේ දෙවනි අවස්ථාව. දුක නොදන්නා බව නිසා නොවේ ද?

දෙවන පාර දුක්ඛ සමුදය සත්‍ය නොදැනීම නිසා, වේදනාව නිසා තණ්හාව ඇති වන බව නොදැන යන ගමනක් නේ ද? කුමකට ද්වේෂ සල්ලයෙන් කැරකවීමට මෝහයේ සිට යන්නේ ද?

තෙවන පාර සඤ්ඤාවන් අල්ලා දිට්ඨි සල්ලයෙන් කැරකවීමට කුමට මෝහයේ සිට යන්නේ ද? දුක්ඛ නිරෝධ සත්‍යය නොදැනීම නිසා නොවේ ද?

හතර වන පාර දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය නොදැනීම නිසා නොවේ ද? මෙතන සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවත් එක්ක බැලුවහම වැටහෙනවා.