ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
බොජ්ඣඞ්ග සංයුත්තයේ ආහාර සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, නූපන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක ද යත්.
මහණෙනි, කුසලා අකුසලා ධර්මයෝ, සාවද්‍ය අනවද්‍ය ධර්මයෝ, හීන ප්‍රණීත ධර්මයෝ, කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග (සප්‍රතිභාග කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ) ධර්මයෝ ඇතියහ. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත්, උපන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාරයයි.
කුසලා අකුසලා ධර්මයෝ යන කොටස සිහි කිරීම. යම් කයක් හට ගත්තේ ද, සමුදය ධර්මය දකී. දැක, හටගැනීම අකුසලය ලෙස වටහා ගනී. යම් කයක නිරෝධය දකී ද, එය කුසලය ලෙස වටහා ගනී. මේක අර බ්‍රහ්මචරියෙසනාවේ පළවෙනි කොටස, භවය අත්හැරියා නම් අකුසලය පහ කළා යන අර්ථය මෙහි තියෙන්නේ.
සාවද්‍ය අනවද්‍ය ධර්මයෝ. සාවද්‍ය ධර්ම කවර? මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති. මහණෙනි, මෙය සාවද්‍ය ධර්ම යැයි කියනු ලැබේ.
මහණෙනි, අනවද්‍ය ධර්ම කවර යත්. සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති. මහණෙනි, මෙය අනවද්‍ය ධර්ම යැයි කියනු ලැබේ. මේක අංගුත්තර නිකායේ සාවද්‍ය සූත්‍රයේ තියෙන්නේ.
හීන ප්‍රණීත ධර්ම. මෙය මජ්ඣිම නිකායේ චූලකම්ම විභංග සූත්‍රයේ මෙන් වටහා ගත යුතු ය. හීන ධර්මයෝ. අල්ප ආයුෂ, බොහෝ ආබාධ, දුර්වර්ණයෝ, අල්ප භෝග, අල්පේශාක්‍ය, නීච කුල. අල්ප ආයුෂ ප්‍රාණ වධ සතුන් වැනසීම, බොහෝ ආබාධ සත්වයන්ට හිංසා කිරීම්, දුර්වර්ණයෝ කොධනො හොති උපායාස බහුලො කිසිවෙක් කිපෙන සුලු වූයේ දැඩි ආයාස බහුල කොට ඇත්තේ වේ ද, අල්ප භෝග දන් නොදීම, අල්පේශාක්‍ය ඊර්ෂ්‍යාව සහගත සිත් ඇති බව, නීච කුල අධික මාන නිසා.
ප්‍රණීත ධර්මයෝ. දීර්ඝ ආයුෂ, අල්ප ආබාධ, වර්ණවත් වූවාහු, මහා භෝග, මහේශාක්‍ය, උසස් කුල, මෙය කර්මය හා සම්බන්ධ ය.
කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග. මේ තේරුම් ගැනීම සඳහා ජළාභි ජාති සූත්‍රය බැලිය යුතු ය.(*1)
ආනන්දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාව ඇතිව උපදනේ ය. යමෙක් යම් කුලයක දුක සේ ආහාරපාන වස්ත්‍ර ලැබේ නම් එබඳු කුලයක උපදනේ ය.
හේ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා, මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණේ.
දෙවනියට පෙන්නනවා ආනන්දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාව ඇතිව උපදනේ ය යත්. යමෙක් යම් කුලයක දුක සේ ආහාරපාන වස්ත්‍ර ලැබේ නම් එබඳු නීච කුලයක උපදනේ ය. හේ කයින් සුසිරිත් පුරයි. වචනයෙන් සුසිරිත් පුරයි. මනසින් සුසිරිත් පුරයි. හේ කයින් සුසිරිත් පුරා වචනයෙන් සුසිරිත් පුරා මනසින් සුසිරිත් පුරා, මරණින් මතු සුගති ස්වර්ග ලෝකයෙහි උපදනේ ය.
තුන් වෙනියට පෙන්නනවා ආනන්දයෙනි, කෙසෙයින් කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්වාණයට පැමිණියේ ය යත්. යමෙක් යම් කුලයක දුක සේ ආහාරපාන වස්ත්‍ර ලැබේ නම් එබඳු නීච කුලයක උපදින්නේ ය. හේ පැවිදි වූයේ චිත්තයට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංචනීවරණයන් දුරු කොට, සතර සතිපට්ඨානයේ මනා සේ පිහිටියේ සප්ත බොජ්ඣඞ්ගයන් තත් වූ පරිදි වඩා අකෘෂ්ණ අශුක්ල නිර්වාණයට පැමිණේ.
හතර වෙනියට පෙන්නනවා ආනන්දයෙනි, කෙසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය යත්. ආනන්දයෙනි, මෙලොවෙහි ඇතැමෙක් මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ ධන ධාන්‍ය ඇති උසස් කුලයේ උපන්නේ වේ. හේ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා, මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණේ.
පස් වෙනියට පෙන්නනවා ආනන්දයෙනි, කෙසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය යත්. ආනන්දයෙනි මෙලොවෙහි ඇතැමෙක් මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ ධන ධාන්‍ය ඇති උසස් කුලයේ උපන්නේ වේ. හේ කයින් සුසිරිත් පුරයි. වචනයෙන් සුසිරිත් පුරයි. මනසින් සුසිරිත් පුරයි. හේ කයින් සුසිරිත් පුරා වචනයෙන් සුසිරිත් පුරා මනසින් සුසිරිත් පුරා, මරණින් මතු සුගති ස්වර්ග ලෝකයෙහි උපදනේ ය.
හය වෙනියට පෙන්නනවා ආනන්දයෙනි, කෙසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්වාණයට පැමිණියේ ය යත්. මෙලොවෙහි ඇතැමෙක් මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ ධන ධාන්‍ය ඇති උසස් කුලයේ උපන්නේ වේ. හේ පැවිදි වූයේ චිත්තයට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංචනීවරණයන් දුරු කොට, සතර සතිපට්ඨානයේ පිහිටියේ සප්ත බොජ්ඣඞ්ගයන් තත් වූ පරිදි වඩා අකෘෂ්ණ අශුක්ල නිර්වාණයට පැමිණේ.
මේ භාවනාව කිරීමේ දී, යම් මනෝමය කායක් හට ගත්තේ ද එහි සමුදය ධර්මය දකී. යම් බාහිර කායක් වේ ද එහි සමුදය ධර්මය දකී, පවිචිනති. අභ්‍යන්තර බාහිර දෙකේ ම සමුදය අස්තංගමය විමසයි, පවිචරති.(*2) සමුදය අස්තංගමය දැන, එහි යම් නිරෝධයක් කැමති වේ ද, එය පරිවිමංසමාපජ්ජති යන අවබෝධය යොදාගෙන බැලිය යුතු ය.
උදාහරණ වශයෙන් සත්වයන්ට හිංසා කිරීම කර, ආබාධ සහිතව උපන් අපි, බාහිර කායක් සාදා ගත්ත අපි, තවදුරටත් සත්වයන්ට හිංසා කිරීම නොකළ යුතු ය. එසේ කරන්නේ නම්, අභ්‍යන්තර කායට එය බැසගන්නේ, නැවතත් බොහෝ ආබාධ ඇති වේ යනුවෙන් සිහි කළ යුතු ය. සංස්කාරයන්ගේ නිරෝධයට කැමති විය යුතු ය.
එතකොට ඒක තමයි භාවනාව.
සාකච්ඡාව 21/01/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒක අංගුත්තර නිකායේ හයේ කොටස් තියෙන ඒකේ තියෙන්නේ.
(*2) ඒ කියන්නේ, this is apple this is orange, and they both are the same.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේ භාවනාව කරනකොට කෙනෙක් හොඳට ඔය තමන්ගේ තත්වය බලන්න ඕන. තමන් මේ හිංසා කරලා, තමන් අසනීප ස්වභාවය සහිතව ඉඳලා, මම තවදුරටත් මේක කරන්නේ නෑ. අර කෘෂ්ණාභිජාති, තමන්ව බින්දුවට දාලම බලන්න, කෘෂ්ණාභිජාති හැටියට උපන්නා කියලා. එහෙම දාලා, ඊට පස්සේ කල්පනා කරන්න මං තවදුරටත් ඒ හිංසා කිරීම්, පාණාතිපාත, අදත්තාදාන ඔය විදිහට ඉතින්, පරුෂා වාච කාටවත් බනින්න, මම ඒවා මොකක්වත් කරන්න යන්නේ නැහැ. ඒකයි අර බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට ඒ කාය, වචී, මනස ඒ තුනෙන් ඒ විදිහට සුසිරිත් පුරනවා කියන අර්ථය ඇතුව සිහි කළහම, මොකද අර තමන් යමක් කරලා මේ තත්වයට වුණා කියන එක අරගෙන, ඊට පස්සේ දැම්මහම ලොකු වෙනසක් තියෙනවා තවදුරටත් කරන්නෙ නැහැ කියන එක.