Date: 24/02/2023 Name: Aggi Sutta- Liina Citta

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

බොජ්ඣඞ්ග සංයුත්තයේ අග්ගි සූත්‍රය. මහණෙනි, යම් කලෙක සිත සැඟවුණේ, ලීනං චිත්තං වේ නම්, ඒ සමයෙහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වැඩීමට නොකලි. සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීමට නොකලි. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වැඩීමට නොකලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් නඟා සිටුවීමට දුෂ්කර වේ.

මහණෙනි, යම් සේ පුරුෂයෙක් මද ගින්නක් දල්වනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි අමු තණත් බහාලන්නේ නම් අමු ගොමත් බහාලන්නේ නම් අමු දරත් බහාලන්නේ නම් සිහිල් සුළඟත් දෙන්නේ නම් වැලිත් ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මඳ ගින්න දල්වන්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.

මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත සැඟවුණක් වේ නම්, ඒ සමයෙහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩන්නට නොකලි. සමාධි සම්බොජ්ඣඞ්ගය වඩන්නට නොකලි. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩන්නට නොකලි. ඒ කවර හෙයින යත්. මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් නඟා සිටුවීමට දුෂ්කර වේ.

මහණෙනි, යම් කලෙක සිත සැඟවුණේ වේ නම්, ඒ සමයෙහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. විරිය සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් මනා කොට නඟා සිටුවන්නේ වේ.

මහණෙනි, යම් සේ පුරුෂයෙක් මඳ ගින්නක් දල්වනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි වියළි තණත් බහාලන්නේ නම් වියළි ගොමත් බහාලන්නේ නම් වියළි දරත් බහාලන්නේ නම් මුව සුළඟත් දෙන්නේ නම් වැලි නො ද ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මඳ ගින්න දල්වන්නට සුදුසු දැ යි. වහන්ස, එසේ ය.

මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත සැඟවුණේ නම් ඒ සමයෙහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. විරිය සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් මනා කොට නඟා සිටුවන්නේ වේ.

කුමක් නිසා එසේ පවසා ද? පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය සමාධි සම්බොජ්ඣඞ්ගය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය භාවනාවෝ නිර්වාණය ම පෙරටු කොට පවතින්නේ, විරිය භාවිතා කිරීමෙන් අනතුරුව වන නිසා ය. එම විරිය ඇති වීමට ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය උපකාර වේ. යම් ප්‍රීති සම්බොජ්ඣඞ්ගයක් වේ ද, එමගින් විරිය නිසා ඇති වූ චිත්ත ස්වභාවය සනාථ කරනු ලබයි. එමගින් ථීන ස්වභාවය ඉක්මවයි.(*1) ඒක තමයි භාවනාව.

ඉතින් මෙයින් අදහස් කරන්නේ, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය සමාධි සම්බොජ්ඣඞ්ගය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය භාවනාවෝ භාවිතා කළ නොහැකි බව නොවේ. එම භාවනාවෝ භාවිතා කළ ද, නිර්වාණය පෙරටු කොට නොපවතින බව ය.

එනම් උදාහරණ වශයෙන්, චිත්ත විවේකය මගින් ඇති වූ චිත්ත පස්සද්ධිය මගින් ඇති වන චිත්ත ස්වභාවයට සතුටු වී සිටිය ද, එය නිර්වාණය පෙරටු කොට නොපවතින බව ය. මෙය දිට්ඨධම්ම සුඛ විහරණයේ දී සිටියාක් මෙන් මනස නිර්වාණය පෙරටු කොට නොපවතින ස්වභාවයෙන් පැවතිය හැකි නිසා ය. මෙයට කාය පස්සද්ධිය එකතු වන්නේ, දුක බව මෙනෙහි කරන්නේ, ධාතු ස්වභාවයෙහි ම සිත නොපිහිටන්නේ නම් නිර්වාණයට තුඩු දේ.

ඒ සඳහා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය විරිය සම්බොජ්ඣඞ්ගය වැනි දහම් අවශ්‍ය වේ. කුමක් නිසා ද? සිත ලීන ස්වභාවයෙන් ගලවා ගැනීම කළ යුතු නිසා ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 04/03/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් මෙතන තව කාරණා හයක් විතර කියන්න පුළුවන්. ඒකෙන් එක කාරණාවක් අපි එදා පැවසුවා. පළවන කාරණාව හැටියට කිව්වා,

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට දෙවෙනි කාරණයට කියන්න පුළුවන්, ඔය විදිහට ම අපට හිතන්න පුළුවන් සමාධි සම්බොජ්ඣඞ්ගය ගැන. සමාධි සම්බොජ්ඣඞ්ගය සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන්නේ ද, එයට අමෝහය එකතු නොවන්නේ නම්, නිර්වාණය සාක්ෂාත් නොකරයි. මෙහි දී නෙක්ඛම්ම විතක්කයේ සාකච්ඡා කළ කරුණු සිහි කළ හැකි ය. වෙන් කිරීම නිසා හොඳ යැයි සිතන උදාහරණය.

තුන් වෙනියට කියන්න පුළුවන්, සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ, පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ දීම, විරිය නැති නිසා සිදු විය හැකි ය. කුමක් නිසා ද? යම් විරියක් වේ ද, එය මගින් නිවනට අහිතකර ධර්මයන් මඟහරවාලන නිසා ය. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ඇලීම තිබිය හැකි නිසා ය. මෙය ඉදංසච්චයේ සිට පැමිණේ. චිත්තපාගුඤ්ඤතා නැත. මෙහි සමථ නිමිත්ත සම්පූර්ණ නැත. සඤ්ඤාවෙන් වෙන් වීම හොඳ යැයි සිතයි.

එතකොට හතර වෙනියට පෙන්නන්න පුළුවන්, ඔය කාරණා තුන ගැන, ඒ කියන්නෙ පළවෙනි අවස්ථාවේ දී ධ්‍යාන මගින් රූපයන්ගෙන් වෙන් වී පැවැත්ම, දෙවෙනි අවස්ථාවේ දී සමාපත්ති ධර්මයන් මගින් රූපයන්ගෙන් වෙන් වී පැවැත්ම, තුන් වෙනි අවස්ථාවේ දී සඤ්ඤාවෙන් වෙන් වී පැවැත්මට උත්සාහ කරයි. එනමුදු වෙන් වීමට උත්සාහ කරන සඤ්ඤාව ද, ධාතු මත ම යැපෙයි.

ඊළඟට පස් වෙනි කාරණයට කියන්න පුළුවන් ඔය 19/03/2021 නිබ්බාන භාවනාව සිහි වෙනවා නම්, ඒකේ අර ඉතා සැඟවුණ ඡන්දය, අතිලීනො ඡන්දො, ඉතා දැඩිකොට ගන්නා ලද ඡන්දය, අතිපග්‌ගහිතො ඡන්දො, ඇතුළත හැකිළුණු ඡන්දය, අජ්ඣත්තං සංඛිත්‌තො ඡන්දො, තමාගේ සක්කාය දිට්ඨිය නිසා අජ්ඣත්තං. පිටත විසුරුණු ඡන්දය, බහිද්ධා වික්ඛිත්තෝ ඡන්දො සිහි කරන්නේ, අනාසව චිත්ත ඇති වී සිත නතර වෙනවා.

ඊළඟට හය වෙනියට කියන්න පුළුවන් ඔය බ්‍රහ්මයකු අල්ලාගෙන සිටින්නේ කුමන ධාතු ස්වභාවයක් දැ යි මෙනෙහි කරන්නේ, ඔහු මුදු ගතිය ඒ කියන්නේ පඨවි ස්වභාවය, ආලෝක ස්වභාවය තේජෝ, චලනය අවකාශයේ බොහෝ දුර ගමන් කිරීමට ඇති හැකියාව වායෝ ස්වභාවය, මේ තුන් ගුණයන් එකතු කිරීම වන ආපෝ ධාතු ස්වභාවය බව වැටහිණ.

මෙම භාවනාවේ දී ධම්මවිචය සම්බොජ්ඣඞ්ග, විරිය සම්බොජ්ඣඞ්ග, ප්‍රීති සම්බොජ්ඣඞ්ග වැඩිය යුතු ය. කෘෂ්ණාභිජාති ආදී වශයෙන් සිහි කර ඇත්තේ භාවනාවට අනතුරුව ලෝක සත්වයා කෙරෙහි මෙත්තාව පතුරුවන්නේ, ඒ කියන්නේ අපි බලනවා මේ ලෝකේ සත්වයා ඉපදිලා තියෙන්නෙ කර්මයන් කරලා, පාණාතිපාත වැනි අකුසල ධර්මයන් කරලා. එතකොට අපි උතුරු දිසාවට පතුරුවනකොට කියනවා, මේකෙ ඉන්නෙ මේ උතුරු දිසාවේ බැලුවම කෘෂ්ණාභිජාති අය ඉන්නවා, අකෘෂ්ණාභිජාති අය ඉන්නවා. අකෘෂ්ණ, අශුක්ල නිර්වාණයට ගිය අය ඉන්නවා. එතකොට මේ විදිහට කියලා, අර සත්ත්වයාට මෙත්තාව පතුරුවනකොට, අර කර්මය වැඩියෙන් කරලා අපායෙ ගියයි කියන අයයි, කර්මය අඩුවෙන් කරලා බ්‍රහ්ම ලෝකවල ඉපදුණා වූ කියන අයයි, ඒ දෙගොල්ලොම එක වශයෙන් සලකලා තමන්ට අර හොඳට මෙත්තාව පවත්වන්න පුළුවන්. එතකොට ඒක බොහොම තීව්‍රව පවතිනවා.

එතකොට ඒ අවස්ථාවේ දී, ඒ ධම්මවිචය සම්බොජ්ඣඞ්ග, විරිය සම්බොජ්ඣඞ්ග, ප්‍රීති සම්බොජ්ඣඞ්ග මනා කොට පැවතුණා කියන්න පුළුවන්.