Date: 31/03/2023 Name: Vibhanga Sutta

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

ඉන්ද්‍රිය සංයුත්තයේ විභංග සූත්‍රය.

මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රියයි.

මහණෙනි, මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කවරේ ද යත්? මහණෙනි, මෙහි අරිය සවු, සැදැහැ ඇත්තේ වේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත් හ. සම්මා සම්බුද්ධ හ. විජ්ජාචරණ සම්පන්න හ. සුගත් හ. ලෝකවිදූ හ. අනුත්තර පුරිසදම්ම සාරථි හ. දෙවි මිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ. තථාගතයන් වහන්සේගේ බුදු බව හදහයි. මහණෙනි, මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

24/03/2023 සමණ සූත්‍රය කළ ආකාරයට, ශ්‍රද්ධා ඉන්ද්‍රියේ සමුදය දහම් විමසා ඉන් අනතුරුව බුදු ගුණ සිහි කළා.

මහණෙනි, විරිය ඉන්ද්‍රිය කවරේ ද යත්? මහණෙනි, මෙහි අරිය සවු, අකුසල් දහම් ප්‍රහාණය පිණිස කුසල් දහම් රැස් කිරීම පිණිස පිරිපුන් වැර ඇත්තේ, කුසල් දහම්හි තිර වැර ඇත්තේ, දැඩි පැරකුම් ඇත්තේ, නො බහා තැබූ ධූර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මේ විරිය ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මෙහි දී විරිය ඉන්ද්‍රියේ සමුදය දහම් විමසා ඉන් අනතුරුව,

1 ආරද්ධ විරිය. අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ උපසමත් පිණිස වැර ඇතිව වෙසේ.

2 ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ. ස්ථාමවත් - යම් උපන් කුසලයක් වේ ද එහි මනා කොට පිහිටයි. අත් නොහරී. කුසලය වෙන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව. ඒක අත් නොහරී. තුන් වන විරිය ලෙස සැලකිය යුතු ය. දළපැරකුම් - යම් අකුසලයක් ප්‍රහාණය කළේ ද, එම අකුසලයෝ නැවත ඉපදීමෙන් වන්නා වූ පරාජයට අකමැති වන්නේ ය.

3 අනික්ඛිත්තධූරො. කුසල් දහම්හි නොහළ ධූර සිහි කළ යුතු ය. නොහළ ධූර ඇත්තේ නිර්වාණය ම පසක් කරයි. දුක ම ඉවත් කරයි. මෙය දුක්ඛ table එක සම්බන්ධයෙන් 16/04/2016 නිබ්බාන භාවනාවේ දී මෙනෙහි කළ ආකාරයට බැලිය යුතු ය. ඒ ඒ ධ්‍යාන ඵල ලාභියා යමක් ඉවත් කළේ ද යමක් ඉවත් නොකර සිටියේ ද එම ඉවත් නොකරන ලද ධර්මය පුනපුනා විමසා ඉවත් කිරීම කරයි.

මහණෙනි, සති ඉන්ද්‍රිය කවරේ ද යත්? මහණෙනි, මෙහි අරිය සවු තෙමේ සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ, ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. මහණෙනි, මේ සති ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ. මෙහි දී සතර සතිපට්ඨාන ධර්මයෝ පුනපුනා සිහි කළ යුතු ය.

මහණෙනි, සමාධි ඉන්ද්‍රිය කවරේ ද යත්? මහණෙනි, මෙහි අරිය සවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිත්හි එකඟ බව ලබයි. මහණෙනි, මේ සමාධි ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මෙහි දී සමාධි ඉන්ද්‍රියයේ සමුදය දහම් වශයෙන් වන්නා වූ සත් බොජ්ඣඞ්ග වැඩීම සිහි කළ යුතු ය.

මහණෙනි, ප්‍රඥා ඉන්ද්‍රිය කවරේ ද යත්? මහණෙනි, මෙහි අරිය සවු ප්‍රඥා ඇතියේ උදය වය පිරිසිඳ දක්නා ආර්ය වූ නිර්වේදයට සමත් වූ, මැනවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ ප්‍රඥා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ ය.

මෙහි දී 17/02/2023 ආහාර සූත්‍ර උපෙක්ඛා භාවනාව මෙන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය සිහි කිරීම ද වැඩීම ද කළ යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 15/04/2023

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්, මේ භාවනාව කරන්නේ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම කොටස සිහි කරන්නේ, සිත ප්‍රභාස්වර වී ආලෝකය විහිදෙනවා.

ඊළඟට කියන්න පුළුවන්, විරිය ඉන්ද්‍රිය ධර්ම කොටස සිහි කරන්නේ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් පැතුරුණා වූ ප්‍රඥා ආලෝකය නිර්වාණය හැර කිසිම තැනක නොනවතී.

ඉතින් මේ මුළු භාවනාව ම කරලා repair කරන්නේ, පරිදේව වූ සංස්කාර යැයි සිහි කරන්නේ, එය මනා කොට අවබෝධ විය. මෙපමණ කලක් සංස්කාර කර ඇත්තේ, ධාතු ස්වභාවය අල්ලා ගැනීමට ය.

කිසිම සංස්කාරයකින් එය කළ නොහැකි බව, නොහැකි වූ බව, සවිතක්ක සවිචාර සමාධිය උපදවන සංස්කාර මගින් රූප ඉවත ලා හෝ, අවිතක්ක අවිචාර සමාධිය උපදවන සංස්කාර මගින් අවිද්‍යාව ඉවත ලා හෝ, ධාතු ස්වභාවය අල්ලා හෝ පැවතිය හැකි එක ම ජීවිත ඉන්ද්‍රියක්වත් නොදුටුවෙමි.