ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයේ උප්පටිපාටික සූත්‍රය.
මහණෙනි, මෙහි නොපමාව (*1) කෙලෙස් තවන වැර ඇතිව (*2) නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව (*3) වෙසෙන මහණ හට සුඛ ඉන්ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ සුඛ ඉන්ද්‍රිය උපන, එය ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ සුඛ ඉන්ද්‍රිය නිමිති රහිතව නිදාන රහිතව සංස්කාර රහිතව ප්‍රත්‍යය රහිතව උපදනේ ය, යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම සුඛ ඉන්ද්‍රියත් දැනගනී. සුඛ ඉන්ද්‍රියේ සමුදයත් දැනගනී. සුඛ ඉන්ද්‍රියේ නිරෝධයත් දැනගනී. යම් තැනක උපන් සුඛ ඉන්ද්‍රිය නිරවශේෂව නිරුද්ධ වේ නම් එය ද දැනගනී. කොහි උපන් සුඛ ඉන්ද්‍රිය නිරවශේෂව නිරුද්ධ වේ ද යත්.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ප්‍රීතියෙහිත් නොඇල්මෙන් උපෙක්ෂකව වෙසේ. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. ආර්යයෝ යම් ඒ දැහැනක් උපෙක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ යැයි කියත් නම්, ඒ තෙවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් සුඛ ඉන්ද්‍රිය නිරවශේෂව නිරුද්ධ වෙයි. මහණෙනි, මෙහි මහණ සුඛ ඉන්ද්‍රියේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යැයි කියනු ලැබේ.
මහණෙනි, මෙහි නොපමාව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙන මහණ හට සෝමනස්ස ඉන්ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනී. මට මේ සෝමනස්ස ඉන්ද්‍රිය උපන. එය ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ සෝමනස්ස ඉන්ද්‍රිය නිමිති රහිතව නිදාන රහිතව සංස්කාර රහිතව ප්‍රත්‍යය රහිතව උපදනේ ය, යන මේ කරුණ ඒකාන්තයෙන් නැත්තේ ය. හෙතෙමේ සෝමනස්ස ඉන්ද්‍රියත් දැනගනී. සෝමනස්ස ඉන්ද්‍රියේ සමුදයත් දැනගනී. සෝමනස්ස ඉන්ද්‍රියේ නිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් සෝමනස්ස ඉන්ද්‍රිය, නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එයත් දැනගනී. කොහි උපන් සෝමනස්ස ඉන්ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්.
මහණෙනි, මෙහි මහණ තෙමේ සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමුව සොම්නස් දොම්නස්ගේ අස්තංගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදිහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිව් වන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් සෝමනස්ස ඉන්ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ. මහණෙනි, මේ මහණ සෝමනස්ස ඉන්ද්‍රියේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යැයි කියනු ලැබේ.
විභංග සූත්‍රයේ පෙන්නනවා, මහණෙනි, සුඛ ඉන්ද්‍රිය කවරේ ද යත්. මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සුඛ ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.
මහණෙනි, සෝමනස්ස ඉන්ද්‍රිය කවරේ ද යත්. මහණෙනි, සිත පිළිබඳව සුව වූ සිත පිළිබඳව මිහිරි වූ මන පහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සෝමනස්ස ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.
භාවනාව සඳහා, මට මේ සුඛ ඉන්ද්‍රිය උපන. හේ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ සුඛ ඉන්ද්‍රිය නිමිති රහිතව නිදාන රහිතව සංස්කාර රහිතව ප්‍රත්‍යය රහිතව උපදනේ ය, යන මේ කරුණ ඒකාන්තයෙන් නැත, යන කරුණ කෙරෙහි සිත යොමු කරන්න.
මෙහි දී 10/03/2023 අභය සුත්ත - බොජ්ඣඞ්ග භාවනාව භාවිතා කළ යුතු ය. සුඛ ඉන්ද්‍රිය හෝ සෝමනස්ස ඉන්ද්‍රිය ඇති වූයේ, සුඛ සොයා ගිය බැවිනි. එනම්, සංස්කාර විෂයයෙහි ලා උපාදාන වූ බැවිනි. සුඛ ඉන්ද්‍රිය නිරුද්ධ වීම සඳහා, අඩු ම තරමින් තෙවන ධ්‍යානය අවශ්‍ය වේ. කුමක් නිසා ද? පෙර ලීන චිත්ත විෂයයෙහි සිත සමාදන් වීම වැළකීම කළ හැක්කේ, එයට වඩා උතුම් වූ, දැන් පවතින්නා වූ, ලීන චිත්තයෙහි සිත නොපිහිටන ධර්මතාවයක් මගිනි. මෙහි චිත්තය ශක්තිමත් කළ යුතු ය. චිත්තය ශක්තිමත් වන්නේ, සිත බලවත් වූ අරමුණක එනම් පැවතිය හැකි අරමුණක පිහිටන්නේ නම් පමණි. ඒ සඳහා තෙවන ධ්‍යානය අවශ්‍ය වේ. කුමක් නිසා ද? තෙවන ධ්‍යානයේ ඇති සුඛ විහාරය තුළ, දිට්ඨින් නිසා ආපසු යන්නා වූ, එනම් භව ආශ්‍රවය නිසා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යන ස්වභාවය මඟහරවාලන නිසා ය. දැන් පවතින්නා වූ සුඛය නැසීමට කැමැත්තක් නැති බව වටහා ගත යුතු ය.
ඉතින් මෙතන අපිට පේනවා, මේ පරාමාසයයි චේතනාවයි අතර අර අත්තා, දිට්ඨි උපාදානය එහෙම ලකුණු වෙනවා. එතකොට අත්තා කියන එකේ පසු සඤ්ඤාව භව ආශ්‍රවය. ඒකෙන් අවිද්‍යා ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රව.(*4)
සෝමනස්ස ඉන්ද්‍රිය මඟහැරීමට නම් හතර වන ධ්‍යානය අවශ්‍ය වේ. කුමක් නිසා ද? අහංකාර ස්වභාවය ඉක්මවිය යුතු ය. ඒ නිසා ය. අහංකාරය නිසා නැවත රූප සොයා යෑම වැළකිය හැක්කේ හතර වන ධ්‍යානයේ ඇති උපෙක්ඛාව නිසා ය. මෙය සඳහා තුන් වන පථය නොමැති වීම උදව් උපකාර කරයි. ඒ කෙසේ ද? සංස්කාර විෂයයෙහි ලා සිත සමාදන් වීම, තුන් වන පථය නැවතීමෙන් සිදු වේ. ඒක තමයි භාවනාව.
මේක තවදුරටත් පැහැදිලි කරනවා නම්, මට මේ සුඛ ඉන්ද්‍රිය උපන, හෙද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය, යන්න හොඳින් විමසන්න.
1 නිමිති, මුහුදු වෙරළක මනාප වූ සුළං පොදක් කයෙහි ස්පර්ශ වීම මෙනෙහි කරන්න.
2 නිදාන වශයෙන් භව ආශ්‍රවය ගන්න.
3 සංස්කාරයන්හි උපාදාන වශයෙන් දිට්ඨි උපාදානය ගත යුතු ය.
4 උපාදාන ප්‍රත්‍යයෙන් භව. ප්‍රත්‍ය සහිත ය.
මට මේ සෝමනස්ස ඉන්ද්‍රිය උපන. හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය, යන්න විමසීමේ දී.
1 නිමිති, වඩු බාස්ගේ කතාව මෙන් විමසන්නේ, තෙවෙනි ධ්‍යාන සුඛ සහිත සඤ්ඤාව නිමිති ලෙස ගන්න. තෙවෙනි ධ්‍යාන සුඛය නොපවතින නිසා, එම සංස්කාරයන්ට උපෙක්ඛා වීම සිහි කරන්න.
2 නිදාන වශයෙන් දිට්ඨි ආශ්‍රවය ගන්න.
3 සංස්කාරයන්හි උපාදාන වශයෙන් අත්තවාද උපාදානය ගත යුතු ය.
4 උපාදානයෙන් භව. ප්‍රත්‍ය සහිත ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 20/05/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) අප්පමත්තස්ස
(*2) ආතාපිනො
(*3) පහිතත්තස්ස
(*4) එතකොට ඒක තමයි වළක්වා ගන්නවා කියන එක තියෙන්නේ
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට ඒකයි භාවනාව. ඉතින් මේකට තව එකතු කරන්න පුළුවන්.
කුමක් නිසා සුඛ ඉන්ද්‍රිය අවස්ථාවේ දී නිදාන වශයෙන් භව ආශ්‍රවය ගන්නේ ද? කායිකව යමක් ඇති වන්නේ ද, එය භව ආශ්‍රවයට තුඩු දේ. ඒ නිසා ය. මෙහි පෙර චේතනාවෝ බලපායි. දිට්ඨින් නිසා ආපසු යන්නා වූ, එනම් භව ආශ්‍රව නිසා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යන ස්වභාවය, තෙවැනි ධ්‍යානයේ කුමන ගුණයක් නිසා මඟහරවාලයි ද? කායිකව දැනෙන දේ නිසා යන්නා වූ ස්වභාවය නැත. සුව වූ උතුම් කායික ප්‍රීතිය පවා ඉක්මවීමට දක්ෂ වී ඇත.
කුමක් නිසා සෝමනස්ස ඉන්ද්‍රිය අවස්ථාවේ දී නිදාන වශයෙන් දිට්ඨි ආශ්‍රවය ගන්නේ ද? චෛතසිකව යමක් ඇති වන්නේ ද, එය දිට්ඨි ආශ්‍රවයට තුඩු දෙයි. ඒ නිසා ය. මෙහි අපර චේතනාවෝ බලපායි. ඉතින් මෙතැන ඔය නිත්‍ය කියන එක ඉදංසච්චගත වෙලා, එතනින් පරාමාසයට පැමිණිලා ඒ දිට්ඨි ආශ්‍රව වීම.
මෙසේ ම කුමක් නිසා දෝමනස්ස ඉන්ද්‍රිය අවස්ථාවේ දී නිදාන වශයෙන් භව ආශ්‍රවය ගන්නේ ද? මෙහි දී සීලබ්බත උපාදානය විමසන්න. ඊර්ෂ්‍යාව ඇත්තේ, මෙහි පෙර චේතනාවෝ බලපායි.
එතකොට මෙතන මේ ආර්ය බොජ්ඣඞ්ග සහිත වූ ධ්‍යානය අවශ්‍ය නොවේ. කුමක් නිසා ද? සෝමනස්ස ඉන්ද්‍රිය අවස්ථාවේ දී උපෙක්ඛාවේ ප්‍රබලතාවය නිසා, සුඛ සහිත සඤ්ඤාව ඉවතලිය හැකි ය. තව ද යම් උපාධියක් සමත් වූ අයකු මම මේ degree එක පාස් වුණා කියලා යම් සතුටක් ඇති ද, එසේ ම හතර වෙනි ධ්‍යාන තලයේ උපන් අයකුට එම තලයේ ඉපදීම නිසා උපෙක්ඛා ස්වභාවයක් ඇති ද, ඔහු අවසන් කරගෙන නැති බව වටහා ගත යුතු ය. තුන් වන පථය ඉවත් කළ යුතු ය. එනම් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය සහිතව හතර වන ධ්‍යාන තලයේ සිටිය යුතු ය.