Date: 21/04/2023 Name: Upekka Indriya

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයේ උප්පටිපාටික සූත්‍රය.

මහණෙනි, මෙහි නොපමාව අප්පමත්තස්ස, කෙලෙස් තවන වැර ඇතිව ආතාපිනො, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව පහිතත්තස්ස, වෙසෙන මහණ හට උපෙක්ඛා ඉන්ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ උපෙක්ඛා ඉන්ද්‍රිය උපන, එය ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ උපෙක්ඛා ඉන්ද්‍රිය නිමිති රහිතව නිදාන රහිතව සංස්කාර රහිතව ප්‍රත්‍යය රහිතව උපදනේ ය, යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම උපෙක්ඛා ඉන්ද්‍රිය දැනගනී. උපෙක්ඛා ඉන්ද්‍රියේ සමුදයත් දැනගනී. උපෙක්ඛා ඉන්ද්‍රියේ නිරෝධයත් දැනගනී. යම් තැනක උපන් උපෙක්ඛා ඉන්ද්‍රිය නිරවශේෂව නිරුද්ධ වේ නම් එය ද දැනගනී. කොහි උපන් උපෙක්ඛා ඉන්ද්‍රිය නිරවශේෂව නිරුද්ධ වේ ද යත්.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤා වේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මෙහි උපන් උපෙක්ඛා ඉන්ද්‍රිය නිරවශේෂව නිරුද්ධ වෙයි. මහණෙනි, මෙහි මහණ උපෙක්ඛා ඉන්ද්‍රියේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යැයි කියනු ලැබේ.

විභංග සූත්‍රයේ පෙන්නනවා, මහණෙනි, උපෙක්ඛා ඉන්ද්‍රිය කවරේ ද? යම් ඒ කායික වූ ද චෛතසික වූ ද, මිහිරි නොවූ (නෙවසාතං), අමිහිරි ද නොවූ (නාසාතං), විඳීමක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ. මෙය චක්ඛු සොත ඝාන ජිව්හා ප්‍රසාද වස්තු කොට ඇත්තා වූ හෝ සිත පිළිබඳව වූ වශයෙන් සිතන්න.

භාවනාව සඳහා, මට මේ උපෙක්ඛා ඉන්ද්‍රිය උපන. එය ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ උපෙක්ඛා ඉන්ද්‍රිය, නිමිති රහිතව නිදාන රහිතව සංස්කාර රහිතව ප්‍රත්‍යය රහිතව උපදනේ ය, යන මේ කරුණ ඒකාන්තයෙන් නැත, යන කරුණ කෙරෙහි සිත යොමු කරන්න.

මෙහි දී 10/03/2023 අභය සුත්ත - බොජ්ඣඞ්ග භාවනාව භාවිතා කළ යුතු ය. උපෙක්ඛා ඉන්ද්‍රිය ඇති වූයේ, උපෙක්ඛාව සොයා ගිය බැවිනි. එනම් සංස්කාර විෂයයෙහි ලා උපාදාන වූ බැවිනි. යම් සිත්හි පවතින උපෙක්ඛාවක් වේ ද එහි මනා කොට පිහිටන්නේ නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා එහි පරාසය වේ.

නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ සඤ්ඤාවන් ඉතා තුනී වුව ද, හඳුනා ගත නොහැකි වුව ද, ඉන් එළියට එන විට, යම් හතර වන ධ්‍යානයක පිහිටයි ද, එහි දී නිරෝධය කැමති විය යුතු ය. යම් නිරෝධයක් වේ ද එහි නිර්වාණය ගැබ් ගනියි. මේ සඳහා සඤ්ඤා වේදනා නිරෝධ ධර්මයට කැමති විය යුතු ය. එනමුදු නෙවසඤ්ඤානාසඤ්ඤායතන සාදන සංස්කාර කෙරෙහි උපාදාන නොවිය යුතු ය. ඒක තමයි භාවනාව.

මේක තවදුරටත් පැහැදිලි කරනවා නම්, මට මේ උපෙක්ඛා ඉන්ද්‍රිය උපන. හේ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය, යන්න හොඳින් විමසන්න.

1 නිමිති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නිමිති ලෙස ගන්න.

2 නිදාන, වශයෙන් අවිද්‍යා ආශ්‍රවය ගන්න.

3 සංස්කාරයන්හි උපාදාන වශයෙන්, අත්තවාද උපාදානය ගත යුතු ය.

4 ප්‍රත්‍ය සහිත ය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ගත යුතු ය. කුමක් නිසා ද? යම් ස්පර්ශයක් නොවන්නේ නම් වේදනාවක් නැත. එය හඳුනා ගත හැකි සඤ්ඤාවකුත් නැත.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 20/05/2023

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකේ තව ගොඩක් එකතු කරන්න තියෙනවා. කුමක් නිසා උපෙක්ඛා ඉන්ද්‍රිය අවස්ථාවේ දී නිදාන වශයෙන් අවිද්‍යා ආශ්‍රවය ගන්නේ ද? දිට්ඨින් නිසා යමක් ඇති වන්නේ ද, එය අවිද්‍යා ආශ්‍රවයට තුඩු දේ. ඒ නිසා ය. මෙහි පෙර චේතනා අපර චේතනා යන දෙක ම බලපායි.

අපර චේතනා යන්න විඤ්ඤාණ පච්චයා නාමරූපං 1 අත්තා යන්න සමඟත්, පෙර චේතනා යන්න නාමරූප පච්චයා විඤ්ඤාණං 2 අත්තා සමඟත්, සිතා බලන්න. එහි යම් එකතු වීමක් අත්තානුදිට්ඨිය නිසා ඇති වන්නේ ද, අවිද්‍යා ආශ්‍රව හටගනී.

එතකොට මේ උපෙක්ඛා ඉන්ද්‍රිය ඇති වූයේ උපෙක්ඛාව සොයා ගිය බැවිනි. මෙහි දී මනස පුදුමාකාරයි. හැම ඉන්ද්‍රියක් ම ප්‍රභාස්වර වී පවතී. එවැනි සඤ්ඤාවන්හි සමුදය අස්තංගමය බලන්නේ, එම ඉන්ද්‍රියන් තවත් ප්‍රභාස්වර වෙනවා. භාවනාව කර අවසානයේ බුදුපියා මෙවැනි දහම් මතු කර දීම ගැන කෘතඥතාවය පළ කරන්නේ, එහි යම් emotion ඇති ද, එයට උපෙක්ඛා වීම සිහි කරන්නේ මනස විශ්වය මෙන් විශාල විය.

ඉතින් තවත් මේක පැහැදිලි කරනවා නම් එකතු කරනවා නම්, ඔයගොල්ලො දන්නවා 19/08/2022 නිබ්බාන භාවනාවේ දී අපි diagram එකක් දුන්නා මතක ඇති, ඔය සාඨෙය්‍ය ගැන බලන අවස්ථාවේ දී ඒක දුන්නේ.

ඒකෙ ඒ පෙන්නන්නෙ අර අපි ලකුණු කළා 5a, 6a, 7a කියලා ඔය q කියලා ලකුණු කරනවා නේ වේදනාවයි පරාමාසයයි අතර. එතකොට ඒ 7a වෙන්න නම් අපි 7b වෙන්න ඕනේ. 7b වෙන්න නම් 6b වෙන්න ඕනේ. 6b වෙන්න නම් 5b වෙන්න ඕනේ, අර ගිද්ධිලෝභය ළඟ ඔය විදිහට diagram එකක් දුන්නා.

එතකොට ඔය සෝමනස්ස ඉන්ද්‍රිය අවස්ථාවේ දී, ඔය තුන් වන පථය නැති වීම, p නැති වීම කියන එක උදව් උපකාර කරනවා, p කියලා කියන්නේ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා අත්තවාද උපාදානය දැන් කොටස් දෙකකට බෙදෙනවා. මෙතන p කොටස ගැන දැන් අපි මේ කතා කරන්නේ, ඒක සෝමනස්ස ඉන්ද්‍රිය අවස්ථාවේ දී කතාව. එතකොට ඒ කියන්නේ hub එක rotate වීම නිසා වෙන දහම්, භවය. උපෙක්ඛා ඉන්ද්‍රිය අවස්ථාවේ දී ඔය q නැති වීම කියන එක. ඒ කියන්නේ 7b කියන එක. 7b කියන්නේ මොකක් ද ස්පර්ශයයි වේදනාවයි අතර. එතකොට අන්න ප්‍රත්‍යය. මෙතන පෙන්නුවා නේ මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව නැති නම් හඳුනා ගතහැකි සඤ්ඤාවකුත් නැත්තේ, ඒ නිසා සංස්කාර කළ යුතු යැයි පරාමාසගත වීමක් නැත. එවැනි සඤ්ඤාවන් අත්තා කර නොගැනීම නිසා අවිද්‍යා ආශ්‍රව නොවන්නේ සංස්කාර ඉවත් කළ හැකි ය කියන එක.

එතකොට මෙතන තවත් දෙයක් කියන්න පුළුවන්, අපි පැහැදිලි කළේ නෑ, ඔය දුක ඉන්ද්‍රිය අවස්ථාවේ දී, කවුරුත් ඇහුවෙත් නැහැ මං හිතන්නේ, ඔය දුක ඉන්ද්‍රියේ තියෙනවා නේ කායික දුකයි. කායිකං අසාතං කියලා එහෙම කිව්ව නේ. එතකොට ඕකේ ඔය අභිධර්ම පිටකයේ හැටියට බැලුවහමත් මේ කයෙන් ඇති වෙන්නා වූ දෙයක නැහැ අපට neutral feeling එකක් කියන එක. එක්කෝ අපට සුඛයක් තියෙනවා. ඉතින් ඕක එහෙම නැත්නම් වේදනාවක් තියෙනවා, දුක වේදනාවක් තියෙනවා. ඉතින් ඕක රහතන් වහන්සේගෙන් ඇහුවහම ඇයි එහෙම වෙන්නේ කියලා, ඉතින් බුදුපියා ඇහුවා මේ පඨවි ධාතුවේ තද ගතිය මෘදු ගතිය ඇරුණාම වෙන මොකක් වත් තියෙනවා ද කියලා. ඒ කියන්නේ මැද එකක් නැහැ නේ, එක්කෝ තද ගතියක් තියෙනවා එක්කෝ මුදු ගතියක් තියෙනවා ඒකෙ neutral එකක් නැහැ කියන එක කියන්න පුළුවන් මේ අවස්ථාවේ දී.

එතකොට දැන් මෙතෙන්දි අපි බලන්න ඇහෙන් දකිනකොට උපෙක්ඛා වශයෙන් අපි ගම්මු මේ fridge එකක් හරි මොකක් හරි තැනකට තමා ඔය shop එකේ salesman එතැනට ගෙනියනවා. ඒක හරියට අර 50% පාර දිගේ පැමිණීම. 50% පාර මතකයි නේ, නේ ද? එතකොට ඒ අපි ජාතිය ඉඳන් ඒ වේදනාව දක්වා එන පාර. එතකොට මේකේ මේ චෛතසික අගය 50% යි. එතකොට එම භාණ්ඩය පෙන්වන්නේ එය ගැනීමට ඇති කැමැත්තත් ඒක 50% යි තමන්ගේ ඇතුළෙන් තියෙන්නේ අන්න ඒ විදිහේ දෙයක් තමයි තියෙන්නේ, 50% කියන එක.

එතකොට අර උපෙක්ඛාව වටහා ගන්න පහසු වෙන්නයි මේ පෙන්නන්නෙ. එසේ ම චෛතසිකව ඇති වෙන උපෙක්ඛාව වශයෙන්, 50% පාර දිගේ යෑම මගින් වන චෛතසික අගය 50%ක් වන්නේ නම්, එනම් 40% පාර නැති නම්, ඒ කියන්නේ තුන්වෙනි පාර නැති නම්, 10% පාර දිගේ ගමන් කරයි ද? මෙය අලුත් වාහනය පරණ වාහනය ලෙස සිහි කරන්න. දෙක ම දුවනවා. එනමුදු අලුත් වාහනයේ නැවුම් බවක් තියෙනවා. එසේ ම නේවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා එහි පැමිණියේ අබලන් වූ පරණ ශරීරය, ඔන්න පරණ වාහනය, ඉවතලා ය. එනමුදු විඤ්ඤාණ ධාරාව පැවතීම සඳහා, ධාරාව මගින් අලුත් රූප ස්පර්ශ කිරීම 10% පාර දිගේ ගමන් කරනවා. එතකොට මේක තවදුරටත් ඕගොල්ලන්ට පස්සේ දී තේරේවි පස්සේ දෙන භාවනාවත් එක්ක ඔතෙන්ට අස්මිතිය කියන එක බලපානවා කියන එක.

එතකොට මෙම ඉන්ද්‍රිය භාවනා තුන ම, එක භාවනාවක දී සිහි කරන්නේ, උපෙක්ඛාව දක්වා යන්නේ තමාට කැමති පරිදි ධ්‍යාන අතර මාරු වීම කියන එක කරන්න පුළුවන්. ඒ සඳහා භාවනා තුනෙහි ම, ආශ්‍රව කෙසේ වූයේ දැ යි පැහැදිලි කිරීම, අපි දැන් මේ සාකච්ඡාවේදි පැහැදිලි කරලා දුන්නා, මේ ආශ්‍රවයන් කියන එක ඇයි එහෙම ගත්තෙ කියන එක. එතකොට අන්න ඒක සිත්හි තබා ගැනීම කියන එක පමණක් ප්‍රමාණවත් වෙනවා. අර ගොඩක් ධර්මයන් ඕනෙ නැහැ. ඒක සිත්හි තියෙනවා නම්, ඒකෙන් ම පුළුවන් වෙනවා තමන්ට මේ විදිහට ධ්‍යානයන් අතර මාරු වෙන්න. ඒ කියන්නේ මෙහි උපෙක්ඛාව ඇත්තේ සුඛය දැනුණත්, ප්‍රීතිය දැනුණ ද, එය හඳුනා ගනු ලබයි. නමුත් එහි ඇලීමක් නැත. මෙසේ ධ්‍යාන හතර තුළ මාරු වීම පහසුවෙන් කළ හැකි ය.

ඒ කියන්නේ හරියට ඕගොල්ලන්ගේ ගෙදර මොනවහරි fridge එකක හරි බඩු තියෙනවා නම් තමන් කැමති කැමති විදිහට එළියට ගන්නවා. නමුත් ඒ එළියට ගන්න එකට තමන්ගේ ඇලීමක් මොකක්වත් නැත්නම් උපෙක්ඛා ස්වභාවයක් තියෙනවා නම්, තමන් දන්නවා මෙන්න මේක ප්‍රීතිය සහගත ගෙන දෙන්නා වූ ආහාරයක් කියන එක. සුඛයක් දෙන්නා වූ ආහාරයක්. ඒ වගේ දෙයක් තියෙනවා. නමුත් ඒකට තමන්ගෙ උපෙක්ඛාවක් තියෙනවා. එතකොට මේ විදිහට මේකෙ මාරු වෙන්න පුළුවන් කම කියන එක තියෙනවා. තමා තුළ තියන ධර්මය, ඉතින් මේක තමයි මේ සම්මා සමාධිය කියන එක බුදුහාමුදුරුවෝ ධ්‍යාන හතරකින් මේ විදිහට කිව්ව එක, අර පළවෙනි ධ්‍යානය ඉවර කරලා හතර වෙනි ධ්‍යානයට ගිහිල්ලා ඒකෙ “ඉන්නවා” කියන එක නෙමෙයි. ඒක හරි පුදුමයි.

ඉතින් මේක මට මේ විදිහට කරන්න පුළුවන් වුණා. ඉතින් රහතන් වහන්සේ කිව්වා මේක මට පමණක් සාධාරණ ධර්මයක් නෙමෙයි කියලා. ඔයගොල්ලන්ටත් මේ හැමෝට ම කරන්න පුළුවන් යැයි කියන එක බුදුපියා පැවසුවා.

එතකොට දැන් මේ භාවනාවේ දී තමන්ට කොහොම ද කෙනෙක් හිතන්න පුළුවන් කොහොම ද දැන් මං උපෙක්ඛාවෙන් ඉන්නේ ප්‍රීතිය කියන එක. දැන් මං කිව්වේ, විරිය ඉන්ද්‍රිය අපි දන්නවා ඔළුව පිටිපස්සේ තියෙන්නේ, එතකොට එතෙන්ට සිත යොමු වුණා නම් ප්‍රීතිය දැනෙනවා, එතකොට ඒකට උපෙක්ඛාව තියෙනවා. මුහුණට සිත යොමු වුණා නම්, මුහුණේ තියෙන සුඛය දැනෙනවා, ඒකට උපෙක්ඛාව තියෙනවා. මේ විදිහට මේ මනසිකාරය මගින් පමණක්, ඒ ඒ ධ්‍යාන අතර මාරු වීම කරන්න පුළුවන්. එනමුදු අර උතුම් උපෙක්ඛාව තමා තුළ පවතිනවා.

එතකොට ඉතින් මේකට අර මතක තියෙන්න ඕන දෙයක් තමයි, පෙර චේතනාව කියන එක, පුබ්බ චේතනා, ඊර්ෂ්‍යාවේ ඉඳන් මායාවට. අපර චේතනා කියන එක මච්ඡරිය ඉඳන් සාඨෙය්‍යට. ඔන්න ඔච්චරයි මතක තියෙන්නෙ. ඒක නිසා හිතන්න එපා, අර පස්සේ කිව්ව භාවනාවේ දී තමන්ට මේක හරහා යන්න බැරි ය කියලා. රහතන් වහන්සේ පෙන්නපු ඒ ධර්මය, කෙනෙක් හොඳට මෙනෙහි කළා නම්, එතන අර බුදුහාමුදුරුවෝ කිව්වා මෙතන මේක නිමිති සහිත ය, නිදාන සහිත ය. ඉතින් ඒක පොඩ්ඩක් විමසලා බැලීම විතරයි තමන්ට තියෙන්න ඕනේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

MM_19_08_2022.jpg