Date: 05/05/2023 Name: Saketha Sutta

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයේ සාකෙත සූත්‍රය.

මහණෙනි, යම් ක්‍රමයකින් පංච ඉන්ද්‍රියයෝ පංච බලයෝ වෙත් ද, පංච බලයෝ පංච ඉන්ද්‍රියයෝ වෙත් ද, මහණෙනි එබඳු ක්‍රමයක් ඇත. මහණෙනි, යම් ක්‍රමයකින් පංච ඉන්ද්‍රියයෝ පංච බලයෝ වෙත් ද පංච බලයෝ පංච ඉන්ද්‍රියයෝ වෙත් ද, මහණෙනි, ඒ ක්‍රමය කවරේ ද?

මහණෙනි, යමෙක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙයි නම්, එය ශ්‍රද්ධා බලය වෙයි. යමෙක් ශ්‍රද්ධා බලය වෙයි නම්, එය ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙයි. යමෙක් විරිය ඉන්ද්‍රිය වෙයි නම්, එය විරිය බලය වෙයි. යමෙක් විරිය බලය වෙයි නම්, එය විරිය ඉන්ද්‍රිය වෙයි. යමෙක් සති ඉන්ද්‍රිය වෙයි නම්, එය සති බලය වෙයි. යමෙක් සති බලය වෙයි නම්, එය සති ඉන්ද්‍රිය වෙයි. යමෙක් සමාධි ඉන්ද්‍රිය වෙයි නම්, එය සමාධි බලය වෙයි. යමෙක් සමාධි බලය වෙයි නම්, එය සමාධි ඉන්ද්‍රිය වෙයි. යමෙක් ප්‍රඥා ඉන්ද්‍රිය වෙයි නම්, එය ප්‍රඥා බලය වෙයි. යමෙක් ප්‍රඥා බලය වෙයි නම්, එය ප්‍රඥා ඉන්ද්‍රිය වෙයි.

මහණෙනි, යම් සේ පෙරදිගට නැමුණා වූ පෙරදිගට බස්නා වූ පෙරදිගට ගලන්නා වූ ගඟක් වෙයි ද, ඒ ගඟ මැද දිවයිනක් වෙයි ද, මහණෙනි යම් ක්‍රමයකින් ඒ ගඟ එක ම ජල පහරක් යැයි ව්‍යවහාරයට යයි ද, මහණෙනි එවැනි ක්‍රමයක් ද ඇත. යම් ක්‍රමයකින් ඒ ජල පහර දෙකකැයි ව්‍යවහාරයට යේ ද, මහණෙනි එවැනි ක්‍රමයක් ද ඇත්තේ ය.

යම් ක්‍රමයකින් ඒ ගංගාවෙහි එක ම ජල පහරකැයි ව්‍යවහාරයට යෙයි ද, මහණෙනි ඒ ක්‍රමය කවරේ ද? මහණෙනි, ඒ දිවයිනේ පෙර කෙළවර යම් ජලයක් වෙයි ද, පසු කෙළවර යම් ජලයක් වෙයි ද, ඒ කියන්නේ East and West කියන එක. යම් ක්‍රමයක් නිසා මේ ජලය එක ම ජල පහරක් යැයි ව්‍යවහාරයට යේ ද, මහණෙනි, මේ වනාහි එක ම ජල පහරකැයි ව්‍යවහාරයට යන ක්‍රමය වෙයි.

යම් ක්‍රමයකින් ඒ ගංගාවේ ජල පහර දෙකකැයි ව්‍යවහාරයට යේ ද, මහණෙනි, ඒ ක්‍රමය කවරේ ද? මහණෙනි, ඒ ද්වීපයාගේ උතුරු පැත්තෙන් යම් ජලයක් වෙයි ද, දකුණු පැත්තෙන් යම් ජලයක් වෙයි ද, ඒ දිය පාරවල් දෙකකැයි යන ව්‍යවහාරයට පැමිණෙයි. මෙය වනාහි ඒ දිය පාරවල් දෙකකැයි ව්‍යවහාර වන ක්‍රමය වෙයි.

දිවයින, සිත වශයෙන් ගන්න. West, සිතට එන අරමුණු. East, සිතේ ඇති වන අරමුණු. South, අපාය වැනි දුක් මෙනෙහි කිරීමෙන් ඇති වන අරමුණු. North, අකනිට්ඨාව දක්වා සිත මෙහෙයවීමෙන් වන අරමුණු.

විමුක්ති සහගත සිත් ඇත්තෙකුගේ විරිය ඉන්ද්‍රිය, විරිය බලය වෙයි. විරිය බලය, විරිය ඉන්ද්‍රිය වෙයි. එසේ නොවන්නකු එය දෙකට බෙදයි. කුමක් නිසා ද? යම් දහමක් ස්පර්ශ වූ විට, සතිය නැති නම් දෙකඩ වන නිසා, නිවන ද නිවනට පිට ධර්ම ද යන දෙකොටස ඇති වන්නේ ය. එහි දී විරිය ඉන්ද්‍රිය සහ විරිය බලය භාවිතා කළ යුතු වන්නේ ය.

කෙසේ විරිය ඉන්ද්‍රිය භාවිතා කළ යුත්තේ ද? සති ඉන්ද්‍රිය භාවිතා කිරීමෙන් අනතුරුව වේ. කුමක් නිසා ද? සතිය මගින් ඇති වන සමාධිය මගින් විරිය ඉන්ද්‍රිය සහ විරිය බලය ඒකාබද්ධ කිරීම නිසා ය. මෙසේ මෙම ධර්ම දෙක ම එකතු කිරීමෙන්, නිවනට යන්නා වූ නිවනට නැඹුරු වන්නා වූ ඉන්ද්‍රිය හටගනී. බලය හටගනී.

(South) දකුණ, අපාය වැනි දුක් මෙනෙහි කිරීමෙන් ඇති වන අරමුණු. දුක දැක මම සිල්වත්ව සිටිමී යැයි, පමණක් කියන්නේ නම් එහි සමුදය අස්තංගමය, සතිය මගින් විමසා, සමාධිය මගින්, විරිය ඉන්ද්‍රිය සහ විරිය බලය ඒකාබද්ධ කිරීම කළ යුතු ය.

උතුර (North), අකනිට්ඨාව දක්වා සිත මෙහෙයවීමෙන් වන අරමුණු. එහි හෝ ධ්‍යාන තලයක හෝ නතර වෙමි යැයි සිතන්නේ නම් සමුදය අස්තංගමය, සතිය මගින් විමසා, සමාධිය මගින්, විරිය ඉන්ද්‍රිය සහ විරිය බලය ඒකාබද්ධ කිරීම කළ යුතු ය.

මෙහි ඒකාබද්ධතාවයක් නැති ද, එහි දී වෙන් වෙන් වශයෙන් මේ ධර්මයෝ වැඩිය යුත්තාහු ය. උදාහරණ වශයෙන් පංච බල, පංච ඉන්ද්‍රිය භාවනාවන් වෙන් වෙන් වශයෙන් වඩන ආකාරය 23/04/2016 පංච බල 5 සහ 24/03/2023 සමණ සුත්ත භාවනාව මෙන් වටහා ගත හැකි ය.

කෙසේ එක ම ජල පහරකැයි ලෙස ඒකාබද්ධතාවයක් ඇතුව ඉන්ද්‍රියන් සහ බලයන් වැඩිය යුතු ද? තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පෙරටු කොට වැඩිය යුතු ය.

යම් දහමක් ස්පර්ශ වන විට, ශ්‍රද්ධාවෙහි පෙර සිත පිහිටුවා ඇති අයකු බල ධර්මයෝ භාවිතා කර 23/04/2016 පංච බල 5 භාවනාවේ අර්ථයෙන්, දිට්ඨීන් නොසාදන තාක් කල් එක ම ජල පහරකැයි ලෙස ඒකාබද්ධතාවයකින් යුතුව, මනස නිර්වාණයට නැඹුරු වී පවතී. එහි යම් වෙනස්කමක් නොවන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 27/05/2023

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්, ඔය බලන්න අපි දකුණ දිහා බලාගෙන ඉන්නකොට දකුණු පැත්ත, අපාය පැත්ත බලාගෙන ඉන්නකොට, අපේ මොන ඇස් දෙක ද වෙන්නේ කියලා වතුර එනවා කියන එක පේන්නේ. දකුණු ඇහෙන් බලන්නේ නේ ද? එතකොට ඒ කියන්නේ ප්‍රඥාවෙන් අපි බලලා, මේ අපායට ගිහිල්ලා ඉන්නවා කියලා ඊට පස්සේ වම් පැත්තේ ඇහැට කියන්නේ සතිය, එතකොට අර ඉන්ද්‍රියන් තියෙන විදිහට ම ඒක කල්පනා කරන්න. එතෙන්දී තමන්ට පේනවා ප්‍රඥාවෙන් බලලා මේ පාණාතිපාතය එහෙම කරන්න හොඳ නැහැ කියලා සතියට යනවා කියලා.

අකනිට්ඨාව පැත්ත බලාගෙන ඉන්නකොට, තමන්ගේ වම් ඇහෙන් තමයි මුලින් ම පේන්නේ වම් පැත්තෙන් වතුර එනවා කියලා, ඒ කියන්නේ සතිය. ඒ සතිය භාවිතා කරලා ඒකෙන් තමන්ට ප්‍රඥාව ඇති වෙනවා. අන්න දකුණු ඇහැ කියන එක. අන්න ඒ වගේ අර්ථයකුත් තියෙනවා. ඉතින් දැනට මේ ප්‍රමාණයට තමයි මේක සති කිහිපයකට පස්සේ නැවතත් යම් ආකාරයකට පෙන්නනවා. බොහොම ගැඹුරට යන්නා වූ ධර්මයක් මෙතන තියෙනවා.